සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට ජනපති අනුරට ආරාධනා

Anura Kumara Dissanayaka Buddhism Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 24, 2026 07:57 AM GMT
Report

ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාංචි මහාබෝධි මහෝත්සවයට සහභාගී වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ පවසති.

2027 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස ජනාධිපතිවරයා වෙත ආරාධනා කළ බවත්, එම ආරාධනය ජනාධිපතිවරයා පිළිගත් බවත් බානගල නාහිමියෝ සඳහන් කළහ.

ධර්මාශෝක රජු සමයේ ඉදිකළ සාංචි ස්ථූප සංකීර්ණය පසුකාලීනව නටඹුන් බවට පත්ව තිබූ අතර, බ්‍රිතාන්‍ය පාලන සමයේ පුරාවිද්‍යාඥයන් විසින් එහි තිබී සොයාගත් සැරියුත් හා මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කරමින් චේතියගිරි විහාරය ඉදිකර ඇත.

1952 වසරේදී එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මහතා විසින් විවෘත කරන ලද මෙම විහාරස්ථානයට 2027 වසරේදී වසර 75ක් සපිරේ.

ජනාධිපතිවරයා සමඟ පැවති හමුවේදී ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ඉන්දියාව සහ ජපානය තුළ සිදුකරන ධර්ම ප්‍රචාරක කටයුතු මෙන්ම ශ්‍රී ලංකාවේ යොෂීඩා සමාජ හා සංස්කෘතික පදනම මඟින් ක්‍රියාත්මක කරන ළමා අධ්‍යාපන හා සමාජ සේවා වැඩසටහන් පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව බානගල උපතිස්ස නාහිමියෝ පැවසූහ.

මෙහිදී මුම්බායිහි මාධ්‍යවේදී ශකීල් සිද්දික් මහතා විසින් රචිත බානගල උපතිස්ස නාහිමියන්ගේ චරිතාපදානය වන “අංජලිකරණීයෝ” ග්‍රන්ථයේ පිටපතක්ද නාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

මෙම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියන්, ලුණුගම්වෙහෙර විමලානන්ද හිමියන් සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් චන්න කළුගම්පිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.