ජනපති මාධ්‍ය අංශයෙන් හදිසියේ නිවේදනයක් නිකුත් කරයි..

Police Sri Lanka President Media Mirihana case
By Aruna Apr 01, 2022 02:35 AM GMT
Report

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර ඇති බවයි.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන් වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බවටද අනාවරණය වී ඇති බවයි.

වැඩිදුරටත් අදාළ නිවේදනයේ සඳහන් වන්නේ ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදු කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසෙන් අනාවරණය වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now