මරණ දඬුවම නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිදොස් කොට නිදහස් කෙරේ...!
මරණීය දණ්ඩනය නියම වී සිටි පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දුන්නේය.
රත්නපුර මහාධිකරණය විසින් තමන්ට නියම කළ මරණීය දණ්ඩනය අහෝසි කොට තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකු ඉදිරිපත් කළ අභියාචනා පිළිගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ, එම සිද්ධිය වූ අවස්ථාවේ දී විත්තිකරුවන් අත ගිනිඅවි තිබූ බවට සහ ඔවුන් විසින් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවය.
ඒ අනුව විත්තිකරුවන් අදාළ චෝදනාවන් රත්නපුර මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවද විනිසුරුවරයා පැවසුවේය.
2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |