ගැබිණි මව්වරුන්ට සුබ ආරංචියක්..මාසික දීමනාව සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

Parliament of Sri Lanka Sri Lanka Parliament Ranil Wickremesinghe Sri Lanka Budget 2024 - sri lanka
By Aruna Nov 13, 2023 01:47 PM GMT
Report

ගැබිණි මව්වරුන් සඳහා ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 10 ක් වෙන්කර තිබෙන බව අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

ඒ ඔවුන්ට මේ වන විට ලබාදෙන රුපියල් 4,500/- මාසික පෝෂණ දීමනාව සඳහා යි.

එම වැඩසටහනේ අඩුපාඩු සහ දුර්වලතා රැසක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එය වඩා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

මේ වන විට ගැබිණි මව්වරුන් සඳහා ක්‍රියාත්මක කරන රුපියල් 4,500/- මාසික පෝෂණ දීමනාව නිසිපරිදි ක්‍රියාත්මක වනවාද යන්න ගැන ගගන ප්‍රවෘත්ති අංශයේ අප විශේෂ සොයාබැලීමක් සිදු කළා.

එහිදී රට පුරා බොහෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මාස ගණනාවක පෝෂණ දීමනා තවමත් ගැබිණි මව්වරුන් වෙත ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රටේ අනාගත පරම්පරාව වන වටිනාම සම්පතක් වූ දරුවන් බිහි කරන ගැබිණි මව්වරුන් සඳහා මාසිකව ලබාදෙන රුපියල් 4500ක පෝෂණ දීමනාවවත් නිසි දිනවකවානු වලට ලබාදීමට නොහැකිනම් එය කාගේ වරදක් ද?

රටේ අනාගතය වෙනුවෙන් උගත්,බුද්ධිමත්,නිරෝගී දරු පරපුරක් බිහි කරන්නට වෙර දරන අහිංසක ගැබිණි මව්වරුන්ට පෝෂණ දීමනාව ගැබිණි කාලසීමාව තුළවත් නොලැබෙන බවත්, ඇතැම් මව්වරුන්ට දරුවන් බිහිකර මාස ගණන් ඉක්මවා ගොස් තිබියදීත් තවමත් නොලැබෙන බවයි බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ.

එවැනි තත්ත්වයක් තුළ බොහෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පසු ගිය මාස කිහිපයේම මාසික පෝෂණ දීමනාව නොලැබී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

අශ්වයා ගිය පසු ස්තාලය වසා වැඩක් නැත.

එම නිසා නිසි කලට, නිසි ක්‍රමවේදයක් මත මෙම වැඩ පිළිවෙළ කඩිනමින් ලබා දෙන්නට අදාල අංශවල බලධාරීන් ක්‍රියා කරන්නේ නම් රටේ අනාගතයට නිරෝගී දරු පරපුරක් බිහි කිරීමට අහිංසක මව්වරුන්ට මහගු ශක්තියක් වනු ඇත.