කෝටි ගණන් වටිනා, ජනපති මන්දිරයේ අතුරුදන්වූ භාණ්ඩ..

Sri Lankan protests Sri Lanka
By Sewvandhi Oct 26, 2022 05:09 PM GMT
Report

ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතවී ඇති බව විගණකාධිපතිවරයා සිදුකළ විගණනයකින් හෙළිවී තිබේ. අස්ථානගත වී ඇති කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් විගණිත දිනය වනතෙක් කිසිදු විමර්ශනයක් සිදුකර නොතිබූ බවද වාර්තාවේ සඳහන්ය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු 2019 නොවැම්බර් 18 වනදා කරන ලද දැනුම්දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයාබැලීමකදී එහි තිබූ ඉන්වෙන්ට්‍රිගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් අස්ථානගතවී ඇති බව හෙළිවී ඇතත් ඒ පිළිබඳව 2022 මාර්තු මාසය දක්වා කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බව විගණන වාර්තාවේ සඳහන්ය.

2015 වර්ෂයේ සිට 2020 ජනවාරි මාසය දක්වා ලබාදී තිබූ රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අසූදහස් විසිතුනක් වටිනා පරිගණක 52න් පරිගණක 4ක් නැවත භාරදී තිබූ අතර ඉන් පරිගණක දෙකක් නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයේ තිබූ බව විගණන වාර්තාවේ දැක්වෙයි.

2015 සිට 2020 ජනවාරි දක්වා මාධ්‍ය අංශයට අනියුක්ත නිලධාරීන් වෙත ලබාදී තිබූ රුපියල් තිස්හතර ලක්ෂ හැත්තෑදහස් හත්සිය හතලිස් දෙකක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩ් 45ක් අතරින් ජංගම දුරකථන 14ක් සහ අයිපෑඩ් 03ක් ආපසු කාර්යාලයට භාරදී තිබුණද ඉන් ජංගම දුරකථන 09ක් සහ අයිපෑඩ් 02ක් ක්‍රියාකාරී තත්ත්වයේ නොතිබී ඇති බවද විගණන වාර්තාව අනාවරණ කරයි.

මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් එහි ඉන්ජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමු කරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන්ය.

අදාළ වාර්තාවට අනුව 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ රුපියල් එක්කෝටි හැත්තෑහත් ලක්ෂ අසූහයදහස් තුන්සිය විසිපහක් වටිනා ලැප්ටොප් පරිගණක 104ක් ලබාදී තිබුණු අතර විගණිත දිනය වනවිට යළි කාර්යාලයට භාරදී ඇත්තේ ඉන් ලැප්ටොප් පරිගණක 26ක් සහ මැක් බුක් එයාර් වර්ගයේ පරිගණක දෙකක් පමණක් බව වාර්තාව පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කතරගම ජනාධිපති මන්දිරයේ අයිතම 12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ රූපවාහිනී යන්ත්‍ර දෙකක්ද අස්ථානගතවී ඇති බවය. මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් විගණිත දිනය වනතෙක් කිසිදු විමර්ශනයක් සිදුකර නොතිබූ බවද වාර්තාවේ සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now