අවුරුදු සමයේ පැය 15ක විදුලි කප්පාදුවක්..? ඉංජිනේරුවන් හෙළි කරන කතාව..(VIDEO)

Norochchole Fuel crisis power crisis Sapugasjanda Anil Ranjith Iduwara Yugadanaw
By Sewvandhi Mar 30, 2022 10:07 AM GMT
Report

පවතින ඉන්ධන අර්බුදය සහ වියලි කාලගුණයත් සමඟ දෛනික විදුලි කප්පාදුව පැය 15ක් පමණ දක්වා දීර්ඝ විය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවනවා. ඇතැම් විට ඉදිරියේදී විදුලි කප්පාදු කරන වේලාවට වඩා විදුලි සැපයුම ලබාදෙන වේලාව නිවේදනය කිරීම පහසු වනු ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර ප්‍රකාශ කළේ.

අද දිනයේත් පැය 10ක කාලසීමාවක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ නිවේදනය කළා. මේ අතර බස් සංගම් පෙන්වා දෙන්නේ පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සඳහා ඉන්ධන පවතින්නේ තවත් දින දෙකක් සඳහා පමණක් බවයි.

මේ වනවිටත් පෞද්ගලික බස් රථ 10,000ක් ධාවනයෙන් ඉවත් වී ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ. පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ මුදල් අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය සහ විදුලිබල අමාත්‍යාංශය අතරයි. උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සාකච්ජාවේදී පවතින තත්ත්වය කළමණාකරණය කළ හැකි ආකාරයන් පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඊයේ පස්වරුවේ ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙටි්‍රක් ටොන් 37500ක් සහිත නෞකාවේ ඩීසල් තොග ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මේ වනවිට ඩීසල් හිඟයක් උද්ගතව තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ඩීසල් සැපයුම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් සීමා කිරීමට සිදුවන බව ඛනිජ තෙල් සංස්ථාව ඊයේ නිවේදනය කළා.

එමෙන්ම දින තුනක පමණ කාලසීමාවක් මෙම තත්ත්වය පැවතිය හැකි බවයි වාර්තා වන්නේ. ඉන්දීය ණය පහසුකම යටතේ හෙට දිනයේ ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලඟා වීමට නියමිත අතර එහි තොග බෙදා හැරීමට සිදුවන්නේ අනිද්දා දිනයේදීයි. පවතින තත්ත්වයට තාවකාලික විසඳුමක් ලෙස ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් කඩිනමින් මිලදී ගැනීමට රජය අද තීරණය කළා.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් සඳහන් කළේ අදත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණු බවයි. මේ අතර, ඉන්ධන නොමැතිවීමට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවුම අසළින් බස් රථ හරස් කර පෞද්ගලික බස් රථ සේවකයින් විරෝධතාවක නිරත වනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now