විදුලිය සැපයීම ගැන මත ගැටුමක්..!
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා චෝදනා කරන්නේ, උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ඉන්ධන ලබාදීමට තම නිලධාරීන්ගේ මතයට ගරු නොකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්සන් ලබාගෙන ඇති බවයි.
අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස චෝදනා එල්ලකරනු ලබන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමිනි. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, මහජන උපයෝගීතා කොමිසම සහ රාජ්‍ය බැංකු එකඟතාවය පළ කළ බව මානව හිමිකම් කොමිසම පසුගිය 25වනදා නිවේදනය කළේය.
කෙසේවෙතත් මානව හිමිකම් කොමිසම ඊයේ සඳහන් කළේ එම එකඟතාවයන් කඩකරන්නේ නම් එකඟතාවය පළ කළ පාර්ශ්වයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩු පවරන බවය. ඒ අනුව ඊයේ දිනයේදීත් විදුලිය විසන්ධි කිරීම් සිදුකෙරුණු අතර උසස් පෙළ සිසුන් මහත් දුෂ්කරතාවයට පත්වී තිබුණි.
මෙවැනි තත්ත්වයක් තුළ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ඉල්ලා සිටින පරිදි එකඟතාවයක් ලබාදිය නොහැකි බවට කරන ලද ඉල්ලීමට නිසි සැලකිල්ලක් සහ ගෞරවයක් ලබාදී නොමැති බවය.
එමෙන්ම හුදෙක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ඒකපාර්ශ්වීය තම මතය වෙත නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බව නිලධාරීන් තමා වෙත වාර්තා කළ බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා යැවු ලිපියේ සඳහන් වෙයි.
මේ අතර විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය බැංකු සහ මහජන උපයෝගිතා කොමිසම පසුගිය 25 වනදා එළඹි එකගතාවන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බව මානම හිමිකම් කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.