විභාග සමයේ විදුලි කප්පාදුව ගැන පාර්ශව කිහිපයකින් දැඩි පියවරක්..!

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Feb 01, 2023 12:36 PM GMT
Report

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්, මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

මේ අතර , ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 

 ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසින් මෙම පෙත්සම ගොනුකළේය. එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ප්‍රතිඥාවක් ලබාදුන් බවය.

එම ප්‍රතිඥාව කඩකරමින් වගඋත්තරකරුවන් විදුලි බලය කප්පාදු කිරීම නිසා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවත් ඒ තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කරු කියා සිටියේය.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now