විදුලි කප්පාදුව ගැන අද ගන්න යන තීරණය මෙන්න..

Sri Lanka Power cut Electric Bord
By Aruna Jan 31, 2022 02:10 AM GMT
Report

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දෙනවාද, නැද්ද යන්න අද පස්වරුවේ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ සිය සාමාජිකයින් රැස්වී දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය කරන බවයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව අපේක්ෂා කළ පරිදි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ හොත් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම ලබාදිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අද සිට යළිත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි ධාරිතාව මෙගාවොට් 300 ක්. මේවනවිට වැඩිම විදුලි ඉල්ලුමක් පවතින පස්වරු 06 සිට රාත්‍රී 09 යි 30 දක්වා කාලය තුළ මෙගාවොට් 300 ක හිගයක් පවතිනවා.

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කළ හොත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට ද මේවනවිට තීරණය කර තිබෙනවා.

එමෙන්ම පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම සඳහා ද අවධානය යොමු කර ඇති බවයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now