මන්ත්‍රී පුරාවිද්‍යා භූමියකින් ගල් කණු ගලවා පටවාගෙන යද්දි මාට්ටු වුණ හැටි මෙන්න..

Sri Lanka Political Mulathiw
By Aruna Feb 22, 2022 10:56 PM GMT
Report

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු 22 දින අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා.

තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට පිරිසක් උත්සහ ගන්නා බවට පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගල්කණු දෙකක් රැගෙනයමින් සිටියදී අදාල පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ප‍්‍රධාන සැකකරුවකු වූ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා පොදුජන පෙරමුණේ වවුනියාව දිස්ත‍්‍රික් සංවිධායකවරයා වන අතර ඔහු උතුරු පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු වන බවත් ඔහුගේ නම හා සිදුකළ සේවාවන් යොදා වවුනියාව ප‍්‍රදේශයේ ඵලකයක් නිර්මාණය කිරීම සඳහා රැගෙන යන බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්,ලොරි රථයක් හා කුඩා දොඹකර ලොරි රථයක් අත්අඩංගුවටගත් බවත් මෝටර් රථයේ රාජ්‍ය ලාංජනය සහිතව උතුරු පළාත් සභා මන්ත‍්‍රී ලෙස පුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් තිබූ බවද පොලිසිය පැවසීය. සැකකරුවන් විසින් කිසියම් ප‍්‍රදේශයක නිධන් හාරා පුරාවිද්‍යා ගල්කණු ලබාගෙන තිබේද යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය.

සැකකරුවන් විසින් රැගෙනයමින් තිබූ පෞරාණික ගල්කණුවල හස්ථී පා සලකුණූ නිරූපනය වන බවත් ඒම ගල්කණු අඩි පහත් , හයත් අතර ප‍්‍රමාණයේ ඒවා බවත් පැවසේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව , නොච්චියාගම , අනුරාධපුර, මහරම්භකුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන ඔඩ්ඩඩුසුඩාන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now