පොලීසිය ඇතුළේදීම අමුතු සෙල්ලමක් දැමූ පුද්ගලයා
මරදාන පොලීසිය විසින්, කොළඹ ජාතික රෝහලේ තිබූ මෘත ශරීරයක් කඩිනමින් නිදහස් කරදෙන බව පවසා රුපියල් 130,000ක මුදලක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී, සිදුකළ විමර්ශනවලදී සැකකරු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේය.
ඔහු ඉදිකිරීම් කොන්ත්‍රාත් කටයුතුවල නිරත අයෙකු බවයි සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු එළැඹෙන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේය.
සැකකරු මානව හිමිකම් සංවිධානයක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් පොලිස් ස්ථානය තුළදීම මුදල් ලබාගෙන පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පැවසුවේ.
මරදාන බී.සී.සී. පාලම අසළදී පසුගිය 28 වනදා පොලීසිය සොයාගත් නාඳුනන මළ සිරුරක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබුණි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පැතූ අතර ඒ අනුව ඔහුගේ සොහොයුරෙකු දේහය භාර ගැනීම සඳහා පැමිණ තිබුණේ මහනුවර සිටය.
ඔහු මරදාන පොලිසියට පැමිණ සිටින අතරතුරදී මානව හිමිකම් සංවිධානයක නියෝජිතයෙකු ලෙස පෙනී සිටි අයෙක් පැමිණ දේහය කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍යනම් රුපියල් එක් ලක්ෂ තිස් දහසක මුදලක් ලබාදෙන මෙන් ඉල්ලා තිබේ.
එම මුදල් රෝහල් සේවකයන්ට හා උසස් පොලිස් නිලධාරීන්ට ලබාදිය යුතු බව අදාළ පුද්ගලයා එහිදී පවසා ඇත.
අනතුරුව මියගිය පුද්ගලයාගේ සොහොයුරාගෙන් සැකකරු මරදාන පොලීසිය තුළදීම රුපියල් 40,000ක මුදලක් ලබාගෙන පිටව ගොස් තිබේ.
ඉතිරි මුදල සැකකරුගේ බැංකු ගිණුමකට යොමුකර ඇති බවද වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබේ.