බිළිඳෙකුත් සමග අණ නොතකා ධාවනය මෝටර් රථය ගැන තොරතුරු රැසක් එළියට..

Nihal Talduwa Sri Lanka Police Sri Lanka
By Sewvandhi Apr 10, 2023 03:36 PM GMT
Report

පොලීසිය අද (10) දහවල් පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර්රථයක් පොල්ගහවෙල දී වෙඩි ප්‍රහාරයක් එල්ල කර එහි සිටි පිරිසක් අත්අඩංගුවට ගත් පුවතක් අද උදෑසන වාර්තා විය.

කුරුණෑගල සිට වත්තල දෙසට ධාවනය කෙරෙන මෝටර්රථයක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන බවට පොල්ගහවෙල පොලීසියට බුද්ධි තොරතුරක් ලැබී තිබුණු අතර ක්‍රියාත්මක වූ පොලීසිය අද පෙරවරු 10.30ට පමණ පොල්ගහවෙල අධිකරණය ආසන්නයේ දී එම මෝටර් රථය නතර කරන ලෙසට අණ කළ ද එය නොනවත්වා ධාවනය කළ බව පොලිසිය සදහන් කරනවා.

 පොලීසිය සිය ජීප් රථයෙන් එම අණ නොතකා ධාවනය වූ මෝටර් රථය ලුහුබැඳ මග හරස් කළ ද, රියදුරු මෝටර්රථය හරවා යළි කුරුණෑගල දෙසට ධාවනය කිරීමත් සමග පොල්ගහවෙල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මෝටර් රථයේ රෝදවලට වෙඩි තැබූ බව පොලීසිය පවසයි.

එහිදී මෝටර් රථයේ ඉදිරි වම්පස රෝදයට වෙඩි වැදුණත් රියදුරු මෝටර්රථය කිලෝ මීටර් 2ක් පමණ ධාවනය කර මාර්ගයේ දකුණු පස පිහිටි දෙනගමුව අතුරු මාර්ගයේ ඔස්සේත් නොනවත්වා ධාවනය කර ඇත.

නමුත් තවදුරටත් ධාවනය කිරීමට නොහැකි තැන රියදුරු රථය නතර කර ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලීසිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක්, කාන්තාවක් සහ ඇයගේ මසක් වයසැති දියණිය සිය භාරයට ගෙන තිබෙනවා.

පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී රියදුරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6,400 ක්, කාන්තාව සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 90 ක් සහ අනෙක් පුද්ගලයා සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 5,700 ක් වශයෙන් හෙරොයින් මිලිග්‍රෑම් 12,190 ක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.

රථය පැදවූ 37 හැවිරිදි රියදුරා සහ 27 හැවිරිදි කාන්තාව කෑගල්ල පරගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ. මොවුන් දෙදෙනා වෙනත් දෙදෙනෙක් සමග විවාහ වී සිටියද වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර අනියම් සබඳතාවයක් පවතින බවය.

ඔවුන්ට දාව උපන් මසක් වයසැති බිළිඳිය මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීමේදී පොලීසිය නොමග යැවීම සඳහා යොදා ගෙන ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු 51 හැවිරිදි වියෙහි පසුවන වත්තල පදිංචිකරුවෙකි.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙම සැකකරුවන්ට සම්බන්ධ වෙනත් ජාවාරම්කරුවන් සිටින්නේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගනිමින් මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now