සර්ප විෂ උරාබොන මැජික් ගල සෑදී ඇති හැටි.

Sri Lanka Snake
By Wayomi May 31, 2022 10:11 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සර්පයෙක් දෂ්ඨ කළ හැටියේ ලෙඩාව අරන් දුවන්නේ හොස්පිටල් එකට. සර්පයා ඉන්නවා නම් ඌව මරාගෙන හරි අරන් යනවා. හැබැයි මේ දින වල නම් සර්ප දෂ්ඨ කිරීම් වලට හොස්පිටල් වල බෙහෙතුත් නැහැ. ඉස්සර නම් අපේ මිනිස්සු එවැනි අවස්ථා වලදී දිවුවේ ගමේ ඉන්න සර්ප වෙද මහත්තයව හොයාගෙන. සිංහල වෙදකම් කරන්න. හැබැයි දැනුත් සර්ප දෂ්ඨ කිරීම් වලට සිංහල වෙදකම් නැතුවාම නෙවෙයි. ටිකක් ගම්බද පැතිවලට වෙන්න සර්ප වෙද මහත්වරු ඉන්නවා.

🐍  ඔය සර්ප වෙද මහත්වරු ළඟ අමුතු මැජික් ගලක් තියෙනවා දැකලා තියෙනවද? ඒ විෂ ගල. සර්පයෙක් කෑවට පස්සෙ ඕනෙ වෙලාවක විෂ උරල අයින් කරන්න පුළුවන් නිසාම අපිට ඒක මැජික් එකක් තමයි. මුල් කාලයේ විෂ ගල් සඳහා උරාගැනීමේ ශක්තියක් තිබෙන ගල් වර්ග,වලං කැබලි ආදිය යොදා ගෙන ඇති අතර විෂ සහිත ලේ උරා ඉවත් කිරීම සඳහා රත්කල බෝතල්,හරක් අං ආදියත් යොදාගෙන තිබෙනවා.

🐍  විෂ ගලක් භාවිතයෙන් විෂ උරා ඉවත් කරන්නට නම් අවම සර්ප දෂ්ඨනයෙන් පැය භාගයක් ඇතුළත එය සිදු කළ යුතුයි. ඊට වඩා පරක්කු වුණොත් නම් විෂ ඉවත් කරන්න බැහැ. ඒ වගේම දෂ්ඨ කළ සර්පයා,දෂ්ඨ කළ ස්ථානය ආදිය මතත් මෙම කාලය තවත් අඩු වන්න පුළුවන්.

🐍  ඒ වගේම සර්ප දෂ්ඨනය වන අවස්ථාවේ මත්පැන් පානය කර තිබීම,රුධිරයේ ද්‍රව ගතිය වැඩිකරන ඔසු ලබාගෙන තිබීම නිසාත් කාලය අඩු වන්නට පුළුවන්. ඒ කියන්නේ සර්ප විෂ පැතිරීම ඉක්මන් වුණොත් විෂ ගලෙන් කළ හැකි කාර්යය සීමා සහිතයි.

🐍  විෂ ගල තැබීමට පෙර තුවාලය දෙහි හෝ දොඩම් ලේල්ලකින් අතුල්ලලා , දෙහි කට්ටකින්ම තුවාලය ටිකක් පාරා විෂ ගල ඒ මත තැබීම සිදු කරනවා.විෂ ඇත්නම් විෂ ගල තුවාලයට ඇලෙන අතර විෂ උරාගැනීමෙන් අනතුරුව ඉබේම ගැලවී වැවෙනවා.

🐍 ඉන්පසුව විෂ ගලේ විෂ හරණය කළ යුතුයි. ඒ සඳහා විෂ ගල පොල්කිරට දමනවා. එවිට පොල් කිර රත් පැහැ පැහැ වෙනවා. එය පොල් කිර තුල පැය භාගයක් තබා පිරිසිදු ජලයෙන් සෝදා තද හිරු එළියේ වියලා ගන්නවා.ඉන්පසු පහසුවෙන් ගතහැකි පිරිසිදු වියලි ස්ථානයක ගබඩා කර තබා නැවත භාවිතයට ගන්නවා.


විෂ ගල සෑදී තිබෙන්නේ කොහොමද?

විෂ ගල කියන්නේ බිමින් නිකන් අහුලා ගන්න ගලක් නෙවෙයි. දිවි මකුළු කැවුත්ත, මීමින්නන්ගේ අණ්ඩ කෝෂ වැනි එකසිය අටක් විෂ වර්ග එකතු කරලා හදපු එකක්. විවිධ විෂ ගල් වට්ටෝරු තියෙනවා. ඇතැම් වට්ටෝරු වල පුෂ්පරාග, චන්ද්‍රකාන්ති වැනි පාෂාන වර්ගත් ඇතැම් ඒවායේ ගරුඩ ගලුත් යොදා ගන්නවා. ඒ වගේම ඔසු රාශියක් අබරා තද ගුලියක් මෙන් සකසා පාෂාණයක් නොමැතිව යොදන අවස්ථාද තියෙනවා.


ඕනෑම සතකුගේ විෂ ඉරීම සඳහා විෂ ගල් යොදා ගත හැකියි.

නමුත් ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ, කල්ගතවූ සර්ප දෂ්ඨයක විෂ උරා ඉවත් කිරීමට විෂ ගලකට හැකියාවක් නැහැ.  🐍