2029දී බලයට ආ සැනින් ක්‍රියාත්මක කරන පොහොට්ටුවේ අලුත් ප්‍රතිපත්ති සැලැස්ම සූදානම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සඳහා විද්වතුන්ගේ සහ වෘත්තිකයන්ගේ අදහස් ලබාගැනීමේ අරමුණින් "Blueprint" නමින් විද්වත් කතිකාවතක් අද පැවැත්විණි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන්, හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්, නීතිඥවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විද්වතුන් පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ, වත්මන් ආණ්ඩුවට ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබුණද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ අරමුණ, බිම් මට්ටමේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීම බවත්, 2029දී බලයට පත්වුවහොත් එය වහාම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා අදහස් දක්වමින් පැවසුවේ, ස්වයංපෝෂිත සහ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් බවයි. නිදහසින් පසු රාජ්‍ය සහ ජනතාව අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීමට නොහැකි වූ බවත්, රාජ්‍ය වියදම්, ණය බර සහ අතීත ආර්ථික තීරණ රටේ වත්මන් තත්ත්වයට බලපා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු රැසක් ඉටු කර නොමැති බවයි. අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය සහ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර රැසක ගැටලු උග්‍ර වී ඇති බවත්, එම ගැටලු මතුවන අවස්ථාවලදී සැබෑ විපක්ෂය ඉලක්ක කර දේශපාලන ප්‍රහාර එල්ල කරන බවත් ඔහු චෝදනා කළේය.
නීතිඥ සංජීව වීරවික්‍රම මහතා සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කළේ, වත්මන් රජය රාජ්‍ය ආයතන සහ ස්වාධීන ආයතන කෙරෙහි වැඩි පාලනයක් ලබාගැනීමට උත්සාහ කරන බවයි. පොලිස්පති ධුරය, බන්ධනාගාර පරිපාලනය, විගණකාධිපති පත්කිරීම් සහ අධිකරණයට අදාළ යෝජනා ඇතුළු කරුණු සම්බන්ධයෙන්ද ඔහු විවේචන ඉදිරිපත් කළ අතර, මේවා ඔහුගේ අදහස අනුව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කරන බව සඳහන් කළේය.
මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, තම පක්ෂය නවීකරණය වෙමින් පවතින දේශපාලන ව්‍යාපාරයක් බවයි.
2005 සිට 2015 දක්වා කාලය තුළ රටේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් ඉදිරියටත් නව ආකාරයකින් ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා බිම් මට්ටමේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික ප්‍රතිපත්ති සැලැස්මක් සකස් කිරීමට විද්වතුන්ගේ දායකත්වය අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම, වත්මන් ආණ්ඩුව මෙන් ප්‍රකාශ කරන ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු නොකරන බවත්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යාම තම පක්ෂයේ අරමුණ බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.