විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු විවෘතයි - අගමැතිනිය
විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘතව පවතින බවත්, මානව හිමිකම් සහ පරිසරය ආරක්ෂා කරන වගකීම් සහගත ආයෝජන සඳහා රජය උපරිම සහයෝගය ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය (UN Global Compact) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව කොළඹදී සංවිධානය කළ ආසියා-පැසිෆික් කලාපයේ තිරසර සංවර්ධන අරමුණු ඇතුළත් “Forward Faster Now” ආයෝජන සංසදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය අද (12) මේ බව සඳහන් කළාය.
සංසදය අමතමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා රජයට පමණක් තනිව කටයුතු කළ නොහැකි බවත්, ඒ සඳහා රාජ්‍ය, පෞද්ගලික අංශ සහ සිවිල් සමාජය එක්ව කටයුතු කළ යුතු බවත්ය.
වර්තමානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වාර්ෂික මූල්‍ය හිඟය ඩොලර් ට්‍රිලියන 2.5ත් 4ත් අතර වන අතර, ආසියා-පැසිෆික් කලාපයේ පමණක් එම හිඟය ඩොලර් ට්‍රිලියන 1.5ක් පමණ වන බව ඇය සඳහන් කළාය.
2030 වන විට කලාපයේ මැනිය හැකි තිරසර සංවර්ධන ඉලක්කවලින් සියයට 88ක් පමණ මගහැරී යාමේ අවදානමක් පවතින බැවින්, තිරසර සංවර්ධනය සඳහා අරමුදල් ආයෝජනය කිරීම කඩිනම් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
අභියෝගාත්මක කාලයකින් පසු ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවර කර ගනිමින් යළි නැගී සිටින බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, 2025 වසරේදී රට සියයට 5ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවත්, දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 108.8ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළාය.
කෙසේ වෙතත්, රජයේ අරමුණ සංඛ්‍යාලේඛනවලින් පමණක් පෙන්නුම් කරන ආර්ථික වර්ධනයක් නොව, හොඳ රැකියා උත්පාදනය වන සහ ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යන සැබෑ ආර්ථික පරිවර්තනයක් බවද ඇය අවධාරණය කළාය.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා රජය උපරිම සහයෝගය ලබා දෙන නමුත්, ලාභය පමණක් අරමුණු කරගත් ආයෝජන වෙනුවට මානව හිමිකම් සහ පරිසරය ආරක්ෂා කරන වගකීම් සහගත ආයෝජන අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
සේවකයන්ට ප්‍රමාණවත් වැටුප් ගෙවීම, වෘත්තීය පුහුණුව ලබා දීම, නිසි ලෙස බදු ගෙවීම සහ පරිසරය ආරක්ෂා කිරීම සෑම ව්‍යාපාරයකම මූලික වගකීම් බවද ඇය පෙන්වා දුන්නාය.
කාන්තාවන් සහ මෙතෙක් සමාජයේ කොන් වූ පාර්ශ්ව ආර්ථිකයට එක්වීමට ඇති බාධා ඉවත් කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති ‘තිරසාර මූල්‍ය මාර්ග සිතියම’ සහ ‘හරිත බැඳුම්කර රාමුව’ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවද ඇය පැවසුවාය.
මෙම අවස්ථාවට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් සහ UN Global Compact හි ප්‍රධාන විධායක නිලධාරිනී සැන්ඩා ඔජියාම්බෝ මහත්මිය සඳහන් කළේ, ලෝකය මුහුණ දෙන දේශගුණික, බලශක්ති සහ මූල්‍ය අර්බුද සඳහා ප්‍රාග්ධනයේ හිඟයක් නොමැති බවත්, අවශ්‍ය වන්නේ පවතින අරමුදල් නිවැරදි දිශාවට යොමු කිරීම බවත්ය.
සංවර්ධනය වෙමින් පවතින රටවලට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා විශ්වාසය, විනිවිදභාවය සහ රාජ්‍ය-පෞද්ගලික අංශයේ කඩිනම් සහයෝගීතාව අත්‍යවශ්‍ය බවද ඇය පෙන්වා දුන්නාය.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආසියා-පැසිෆික් කලාපයේ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ විධායකයින් සහ තිරසර සංවර්ධන විශේෂඥයින් පිරිසක්ද මෙම සමුළුවට එක්ව සිටියහ.