කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කළ අගමැතිනිය යළි දිවයිනට
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය පළ කිරීම සඳහා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියාය.
සංචාරය අතරතුර දෝහා නුවර ලුසයිල් මාලිගයට පැමිණි අග්‍රාමාත්‍යවරිය, කටාර් රාජ්‍යයේ වත්මන් එමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි මහතා හමුවී ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් බලවත් ශෝකය පළ කළාය.
අනතුරුව අල් වජ්බා මාලිගයට ගිය ඇය, කටාර් එමීර්වරයාගේ මෑණියන් සහ කටාර් පදනමේ සභාපතිනිය වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් මහත්මිය වෙත ද ශ්‍රී ලංකාවේ ශෝකය පිරිනැමුවාය.
එමෙන්ම අභාවප්‍රාප්ත හිටපු එමීර්වරයාගේ දියණියන් වන ෂෙයිකා අල් මයාසා බින්ට් හමාඩ් අල් තානි කුමරිය, ෂෙයිකා හින්ද් බින්ට් හමාඩ් අල් තානි කුමරිය සහ රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන් වෙත ද අග්‍රාමාත්‍යවරිය සිය ශෝකය පළ කළාය.
මෙම අවස්ථාවට කටාර් රාජ්‍යයේ සමාජ සංවර්ධන හා පවුල් කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන බුතයිනා බින්ට් අලි අල් ජබර් අල් නුඅයිමි මහත්මිය ද එක්ව සිටි අතර, ඇය වෙත ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝකය පළ කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටයුතු කළාය.