ජංගම දුරකථන චාර්ජ් කිරීමේදී මේ වැරදි කරනවද..? දැනගත යුතුමදේ

By Sithumi Oct 30, 2022 05:02 PM GMT
Report

..

වර්තමානයේදී ඉතාම නවීන ඉලෙක්ට්‍රොනික උපාංග බොහෝමයක් තිබුනත් ඒවායේ කල් පැවැත්ම සඳහා බලපාන්නේ අප ඒවා පරිහරණය කරන ආකාරය මිස ඒවායේ ඇති දියුණු තාක්ෂණය නොවේ.

කෙතරම් ගුණාත්මක භාවයෙන් වැඩි, දියුණු තාක්ෂණයෙන් යුත් උපකරණයක් පවා අපි නිසිලෙස භාවිතා කළේ නැත්නම් ඒවායේ කල් පැවැත්ම අඩුවී ඉක්මනින් කැඩී බිඳී යන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට අප විසින්ම ආයු කාලය තීරණය කළ හැකි සුලභ උපකරණයක් තමයි ජංගම දුරකතනය. අපි ජංගම දුරකතනය ආරෝපණය කරන, එහෙමත් නැත්නම් චාර්ජ් කරන ආකාරය, අපගේ ආරක්ෂාවට වගේම දුරකතනයේ බැටරි ආයු කාලයටත්, නිවසේ විදුලි බිලටත් බලපානවා. ඒ නිසා අපි අද මේ ලිපියෙන් බොහෝ දෙනා ජංගම දුරකථන චාර්ජ් කිරීමේ දී කරන සුලබ වැරදි දහයක් ගැන දැනුවත් කරන්න සිතුවා.

01. ජංගම දුරකථන චාජරය සොකට් එකෙන් නොගැලවීම.

බොහෝ දෙනෙක් ජංගම දුරකථනය භාවිතා නොකරන අවස්ථාවලදී පවා දුරකථනයෙහි චාජරය සොකට් එකේ තිබෙන්නට හරිනවා. මෙය ඉතාම නුසුදුසු දෙයක්. මොකද දුරකථනය සම්බන්ධ කර නොමැති අවස්ථාවකදී වුණත් චාජරය මගින් විදුලිය දිගටම එලියට අදින නිසා එය ඔබගේ විදුලි බිලට නම් එතරම් හිතකර වන්නේ නැහැ.

ඒ වගේම බොහෝ වේලාවක් එසේ තිබීමේදී එහි උෂ්ණත්වය වැඩි වන නිසා අසල යමකට ගිනි ඇවිලීමට හෝ කාමරයේ ආර්ද්‍රතාවය වැඩිනම් එය ළුහුවත් වීමට(ෂෝර්ට් වීම) පවා හැකියි. මේ නිසා ඔබ භාවිතා නොකරන සෑම අවස්ථාවකදීම චාජරය සොකට් එකෙන් ගලවා තබන්න.

02. බැටරිය 100%ක්ම ආරෝපණය කිරීම. බොහෝ දෙනෙක් තමන්ට හැකි සෑම අවස්ථාවකදීම බැටරිය උපරිම ධාරිතාවට ආරෝපණය කිරීමට උත්සාහ කළත්, මෙමඟින් බැටරියේ ආයුකාලය ඉක්මනින්ම අඩුවෙන්න පුලුවන්. එයට හේතුව සාමාන්‍යයෙන් ඕනෑම බැටරියක ආරෝපණය කළ හැකි නිශ්චිත වට ගණනක් තිබෙන නිසා ඔබ එය නිතර නිතර උපරිම ප්‍රමාණයට ආරෝපණය කිරීමෙන් එම වට ගණන ඉක්මණින් අවසන් වී යාමයි.

මේ නිසා සෑම අවස්ථාවකම බැටරිය 100% ආරෝපණය කිරීම අවශ්‍ය නැහැ. 100%ක් ආරෝපණය කිරීම මසකට වරක් පමණ සිදු කරමින්, සාමාන්‍යයෙන් බැටරි ධාරිතාව 20% – 80% අතර තබා ගැනීමට උත්සාහ කරන්න.

03. බැටරිය ආරෝපණය කිරීමට එහි ධාරිතාව 0%ක්‌ වනතෙක් සිටීම.  

බොහෝ දෙනෙක් බැටරිය චාර්ජ් කිරීමට උත්සහ කරන්නේ එහි ධාරිතාවය බින්දුවටම බැස්සායින් පසුවයි. මෙය ඉතාම අහිතකරයි. අපි කලින් කියූ පරිදි වර්තමානයේ නිපදවෙන ලිතියම් මූලික කරගත් ජංගම දුරකථන බැටරි ක්‍රියාකරන්නේ නිශ්චිත වට ගණනකට අනුවයි. ඉතින් ඔබ එහි ධාරිතාවය බින්දුවටම බසින තෙක් තැබීමෙන් එහි සම්පූර්ණ වටය බැගින් අවසන් වන නිසා පියවරෙන් පියවර බැටරියේ ආයු කාලය අඩුවීම සිදුවෙනවා. 

 04. මුළු රාත්‍රිය පුරාම ජංගම දුරකතනය ආරෝපණය වීමට ඉඩ හැරීම. බොහෝ දෙනෙක් පසුදින උදෑසන භාවිතා කළ හැකි වන පරිදි, රාත්‍රියේදී තමන්ගේ ජංගම දුරකතනය ආරෝපණය වීමට ඉඩහැර නින්දට යනවා. 

මේ නිසා සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක් සම්පූර්ණයෙන් ආරෝපණය වීමට ගතවන පැය ගණනට වඩා, පැය 4, 5ක්ම වැඩිපුර ආරෝපණය වීම සිදුවෙනවා. මේ නිසා බැටරියේ ආරෝපණ වට ගණන මෙන්ම විදුලියත් අපතේ යනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා ආරෝපණය වීම නිසා ජංගම දුරකථනය අධික ලෙස රත් වීමත් එයට ඉතා අහිතකර ලෙස බලපානවා. 

 05. ජංගම දුරකථනය චාර්ජ් වන අතරතුර එය භාවිතා කිරීම. 

 ජංගම දුරකතනය ආරෝපණය වෙමින් පවතින අතරතුර එය භාවිතා කිරීම නිසා බැටරියට එකම අවස්ථාවේදී විදුලිය ලබා දීමත් එයින් ඉවත් කිරීමත් සිදුවෙනවා. එකවර ක්‍රියාවන් දෙකක නිරත වීමට සිදුවීම නිසා එය බැටරියට පීඩාකාරී ලෙස බලපානවා. 

එය බැටරියේ ආයු කාලය අඩු වීමට ප්‍රධාන හේතුවක්. ඔබට හදිසි දුරකතන සංවාදයක යෙදීමට අවශ්‍ය නම් ඒ මොහොතට දුරකථනය චාජරයෙන් ගලවා, සංවාදය අවසන් කර, නැවත චාර්ජ් වීමට ඉඩහරින්න. දුරකථනයට විදුලිය සැපයෙන අතරතුර එය කනේ තබා ගැනීම හෝ වෙනත් ක්‍රියාවක නිරත වීම ඔබ‍ට ඉතා ආරක්ෂාකාරී වෙන්නෙත් නැහැ. 

 06. අනවශ්‍ය ලෙස ජංගම දුරකතනය ආරෝපණය කිරීම. 

 බොහෝ දෙනෙක් ජංගම දුරකථනයේ ධාරිතාවය 20%ක්‌, 50%ක් හෝ 70%ක්‌ තිබුණත් එය චාර්ජ් කිරීමට උත්සාහ කරන අවස්ථා තිබෙනවා. නිතර නිතර අනවශ්‍ය ලෙස ජංගම දුරකතනය ආරෝපණය කිරීම බැටරියේ ආයු කාලය විශාල වශයෙන් අඩු කිරීමට හේතුවක්. මේ නිසා අවශ්‍යම වූ විට පමණක් එය ආරෝපණය කිරීමට වගබලාගන්න.

එයින් අදහස් වන්නේ බැටරි ධාරිතාව 5%ට වැඩියෙන් සහ 20%ට අඩුවෙන් තිබියදී පමණක් එය ආරෝපණය කරන්න.

07. ජංගම දුරකතනය ආරෝපණය කරන විට එහි පිටුපස කවරය(Back cover) තිබියදීම ආරෝපණය කිරීම.

ජංගම දුරකථන බැටරියක ආයු කාලයට ඇති ලොකුම සතුරා වන්නේ අධික උෂ්ණත්වයයි. මේ නිසා එහි පිටුපස කවරය තිබියදී චාර්ජ් වීමට ඉඩ හැරීමෙන් එහි නිපදවන උෂ්ණත්වය ඒ තුළම සිරකර තබා ගැනෙනවා. එය බැටරියට පමණක් නොවෙයි ජංගම දුරකථනයේ ඇතුලත ඇති අනෙකුත් උපාංග වලට පවා අහිතකර ලෙස බලපානවා. මේ නිසා එය ආරෝපණය කරන විට අනිවාර්යෙන්ම පිටිපස කවරය ගලවා විදුලියට සම්බන්ධ කරන්න.

08. වෙනත් චාර්ජර් භාවිතා කිරීම.

සෑම ජංගම දුරකථනයකටම ඒ හා සමඟ හිමිවන නිශ්චිත චාජරයක් තිබෙන අතර ඒ වෙනුවට වෙනත් වෙළඳ නාමයක චාජරයක් හෝ එකම වෙළඳ නාමයේ එහෙත් වෙනත් මොඩලයක් සඳහා නිපදවූ චාර්ජරයක් භාවිතා කිරීම මගින් බැටරියට උවමනා විද්‍යුත් ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් සැපයෙන අවස්ථා තිබෙනවා. මේ නිසා ජංගම දුරකථනය ඉතා සෙමෙන් ආරෝපණය වීම හෝ අධිකව රත් වීමට හැකියි. මේ නිසා ඔබගේ ජංගම දුරකථනයට වඩාත්ම සුදුසු චාජරය වන්නේ ඔබ එය මිලදී ගන්නා විට හිමිවු චාජරය පමණයි. ඔබ අතින් එය කැඩුණොත් හෝ නැති වුනොත්, ඒ මොඩලයටම අයත් චාජරයක් මිළදී ගැනීම සිදුකළ යුතුයි.

09. නොදන්නා යෙදවුම් (Applications/Apps) භාවිතය.  

නොමිලේ බාගත හැකි බැටරි ධාරිතාවය ආරක්ෂා කරන සහ බැටරි වැඩිදියුණු කරන විවිධ යෙදවුම් ( Battery saver/booster apps) මගින් ඔබගේ ජංගම දුරකතන බැටරියේ ක්‍රියාකාරීත්වය බලාගත හැකි වුවත් ඔබ භාවිතා කරන්නේ කුමක් දැයි හරියටම දැන සිටිය යුතුයි. නොදන්නා මූලාශ්‍රවලින් වැඩිදියුණු කරන ලද යෙදවුම් භාවිතා කිරීම මගින් ජංගම දුරකථනයට හානි වනවා වගේම අනවශ්‍ය ලෙසින් වෙළඳ දැන්වීම්ද ඒ සමග ජංගම දුරකතනයට ඇතුලත් වෙනවා. මේ නිසා ප්‍රසිද්ධ සහ විශ්වාසවන්ත නිර්මාණකරුවන් පමණක් නිපදවන යෙදවුම් භාවිතා කිරීම සිදු කළ යුතුයි. 

 10. ලැප්ටොප් එකට සම්බන්ධ කර ආරෝපණ කිරීම. 

 ඔබ වැඩක යෙදෙන විට ජංගම දුරකතනය ආරෝපණය කිරීමට බොහෝ විට ලැප්ටොප් එක යොදාගන්නවා ඇති. නමුත් එමගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වේලාවක් ජංගම දුරකතනය ආරෝපණය කිරීමට සිදුවෙන අතර බැටරියට එතරම් හිතකර වන්නෙත් නැහැ. මේ නිසා වඩාත් සුදුසු වන්නේ බිත්තියට සම්බන්ධ සොකට් එකක් හරහා ඔබගේ චාජරය භාවිතයෙන් දුරකතනය ආරෝපණය කිරීමයි.

Copied