අරගලකරුවන්ගේ පෙත්සම් දෙකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිතුරු

Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Feb 24, 2023 12:53 PM GMT
Report

 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අරගලකරුවන් 10 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර තිබේ.

ඉකුත් වසරේ මැයි මස 04 වනදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල උද්ඝෝෂණයක නිරතවී සිටි තමන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටත් තීන්දු කරණ ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුනා.

අසත්‍ය සහ නොමඟ යවන සුළු කරුණු පදනම් කරගනිමින් මෙම පෙත්සම් ගොනු කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

මෙම පෙත්සම් සලකාබැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඉකුත් මැයි මස 04 වනදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සාමකාමී ලෙස උද්ඝෝෂණයක නිරතවී සිටි පෙත්සම්කරුවන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව සඳහන් කරමින් කරුණු ඉදිරිපත් කර තිබුණි.

තමන් සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කළ ද අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශන ඔස්සේ ඔවුන් මංමාවත් අවහිර කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමනාගමන කටයුතු අවහිර කරමින් කටයුතු කර ඇති බවක් පෙනී යන්නේ යැයිද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now