ලෝකයේ අවධානය ඉන්දියාවට දිනාදුන් කලා දැවැන්තයාගේ නික්මයාම
ඉන්දීය සමකාලීන කලාවට ජාත්යන්තර අවධානය සහ පිළිගැනීම දිනාදීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ නවදිල්ලියේ ප්රකට ‘Nature Morte’ කලාගාරයේ නිර්මාතෘ පීටර් නාගි (Peter Nagy) වයස අවුරුදු 67දී අභාවප්රාප්ත වී තිබේ.
දිගුකාලීන අසනීප තත්ත්වයකින් පසු ඔහු මියගිය බව එම කලාගාරය අඟහරුවාදා රාත්රියේ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
අමෙරිකාවේ කනෙක්ටිකට් ප්රාන්තයේ උපත ලැබූ පීටර් නාගි, 1982 වසරේදී කලාකරුවෙකු වූ ඇලන් බ්ලෙචර් සමඟ එක්ව නිව්යෝර්ක් නගරයේ ඊස්ට් විලේජ් ප්රදේශයේ ‘Nature Morte’ කලාගාරය ආරම්භ කළේය.
පසුව ඉන්දියාවට සිය අවධානය යොමු කළ ඔහු, එරට සමකාලීන කලා නිර්මාණ ජාත්යන්තර කලා ක්ෂේත්රයට හඳුන්වා දීමේ ප්රමුඛ චරිතයක් බවට පත්විය.
විශේෂයෙන්ම සුබෝද් ගුප්තා සහ භාරතී ඛේර් වැනි ප්රකට ඉන්දීය කලාකරුවන්ගේ නිර්මාණ ලොව පුරා කලා ලෝලීන්ගේ අවධානයට යොමු කිරීමට ඔහු සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.
පීටර් නාගිගේ අභාවයත් සමඟ ‘Nature Morte’ කලාගාරයේ අනාගතය පිළිබඳව ද අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ වියෝවෙන් පසු කලාගාරය වසා නොදමා එහි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
ශෝකයට පමණක් සීමා නොවී කලාකරුවන්ගේ නිර්මාණ ප්රදර්ශනය කිරීම අඛණ්ඩව සිදු කිරීම ඔහුගේ අපේක්ෂාව වූ බව ද කලාගාරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පීටර් නාගිගේ අභාවය ඉන්දීය සමකාලීන කලා ක්ෂේත්රයට මෙන්ම ජාත්යන්තර කලා ප්රජාවට ද සැලකිය යුතු පාඩුවක් ලෙස සැලකේ.