22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉල්ලමින් බහුජන බලයෙන් පෙත්සමක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා බහුජන බලය සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතන අතර නිසි බල සංචරණ හා තුලන පවත්වා ගැනීම අරමුණු කරගත යුතු බව බහුජන බලය පවසයි.
යෝජිත 22 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන මඟින් විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූලධර්මයට බලපෑම් ඇතිවිය හැකි බවට මතුව ඇති කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බැවින්, එයට සිදුකරන මූලික වෙනස්කම් ප්‍රමාණවත් විනිවිඳභාවයකින්, පුළුල් මහජන සංවාදයකින් සහ නිසි ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් යටතේ සිදුකළ යුතු බව බහුජන බලය අවධාරණය කරයි.
එමෙන්ම, යම් සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂයෙන් ආරක්ෂා කර ඇති විධිවිධානවලට බලපාන්නේ නම්, පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් මඟින් ජනතාවගේ සෘජු අනුමැතිය ලබාගැනීම අවශ්‍ය විය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.
යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේද අවධානය යොමුව ඇති බව බහුජන බලය සඳහන් කරයි. Commonwealth Lawyers Association (CLA), LAWASIA, International Association of Judges (IAJ) ඇතුළු ආයතන මෙන්ම එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී Margaret Satterthwaite ද යෝජිත වෙනස්කම් අධිකරණ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූලධර්මයට ඇති කළ හැකි බලපෑම පිළිබඳ කනස්සල්ල පළ කර ඇති බව එම සංවිධානය පවසයි.
මෙතරම් වැදගත් ව්‍යවස්ථාමය වෙනසක් සඳහා පැහැදිලි ජනවරමක් තිබිය යුතු බවද බහුජන බලයේ ස්ථාවරය වී තිබේ. යෝජිත 22 වන සංශෝධනය ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ජනතාව වෙත ඉදිරිපත් කර නොතිබූ බැවින්, ඒ සඳහා සෘජු මැතිවරණ ජනවරමක් පවතින්නේද යන්න පිළිබඳ සාධාරණ ප්‍රශ්නයක් මතුවන බවද ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන ව්‍යවස්ථාවට අනුකූලද යන්නත්, එහි යම් විධිවිධාන සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගැනීම අවශ්‍යද යන්නත් තීරණය කරන ලෙස බහුජන බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, තමන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවන බව පවසන බහුජන බලය, ඕනෑම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ජනතාවගේ අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා වන ආකාරයෙන් සිදුකිරීම තහවුරු කළ යුතු බව අවධාරණය කරයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු ආණ්ඩුවකට හෝ දේශපාලන පක්ෂයකට අයත් ලේඛනයක් නොවන අතර, එය රටේ ජනතාව සතු උත්තරීතර නීතියකි. එබැවින් එය වෙනස් කරන සෑම අවස්ථාවකම අවසාන වශයෙන් ආරක්ෂා විය යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍යයයි” යන ස්ථාවරයද බහුජන බලය අවධාරණය කරයි.