අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි
මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
අද (11) අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් කැඳවා ඇති විශේෂ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වයක් මෙම ඉල්ලා අස්වීමට හේතුවී ඇති බව සඳහන් වේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාමාජික අදහස් විමසීම සඳහා අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව විසින් විශේෂ මහා සභා රැස්වීමක් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබුණි.
සිය ඉල්ලා අස්වීම සහ ඊට අදාළ කරුණු සඳහන් කරමින් පසන් අමරසේන මහතා විසින් සංගමයේ සාමාජිකයින් වෙත යොමු කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණ සේවා සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ මහතා විසින් යොමු කළ බව කියන ලිපියක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇත.
මේ අතර, සැලසුම් කළ පරිදි විශේෂ මහා සභා රැස්වීම අද පෙරවරු 10ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ආරම්භ වූ බව වාර්තා වේ.