අද පාර්ලිමේන්තුවට මුලු රටේම අවධානය යොමු වෙයි...හේතුව මෙන්න(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Budget 2023
By Aruna Dec 08, 2022 04:06 AM GMT
Report

ලබන වසර සඳහා වන අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙන අතර, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිපත්ති මෙන්ම ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ එහිදී විවාදයට ගැනීමට නියමිත යි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මස 14 වනදා ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීම දින හතක් විවාදයට ලක් කෙරුණා.

අනතුරුව පසුගිය 22 වැනිදා පැවති අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 121ක් සහ විපක්ෂව ඡන්ද 84ක් හිමි වුණා.

එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබුණත්, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙන්ම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ විපක්ෂ නායකවරයා හමු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.සෙනෙවිරත්න මෙන්ම එම කණ්ඩායම නියෝජනය කරන බවට වාර්තා පළ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න ද ඊට පක්ෂ ව ඡන්දය භාවිත කළා.

සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ඡන්දය භාවිත කළේ ඊට විරුද්ධව යි.

දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

අනතුරු ව පසුගිය 23 වැනිදා සිට අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරුණු අතර, අද දිනයේ දී ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත යි.

පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now