බදු පරිපාලනය ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානයට

Income Tax Department Latest Headlines Income Tax Return Sinhala news Puwath.lk
By R.rishma Aug 10, 2026 10:15 AM GMT
Report

බදු පරිපාලන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ රටේ වර්තමාන මූල්‍ය තත්ත්වය සහ බදු පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කර ඇත.

2026 වර්ෂයේ බදු සැලැස්ම, ජුනි 30 දක්වා බදු ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය, ආදායම් ඇස්තමේන්තු, බදු වර්ග අනුව ආදායම් කාර්යසාධනය, බදු පදනම සහ වර්තමාන බදු අනුකූලතා තත්ත්වය පිළිබඳව එහිදී අවධානය යොමු වී තිබේ.

බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතය පුළුල් කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කර ඇත.

මෑතකාලීන බදු ප්‍රතිපත්ති සංශෝධන සහ ආදායම් කළමනාකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් ඇති වී ඇති බවද සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

එම ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බදු පරිපාලනය නවීකරණය කිරීම, බදු ගෙවන්නන්ගේ පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය වී ඇත.

මේ අතර, විද්‍යුත් සේවා පුළුල් කිරීම, ආයතන අතර දත්ත හුවමාරුව ශක්තිමත් කිරීම සහ ඩිජිටල් පද්ධති වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

බදු පරිපාලනයේ පවතින ප්‍රධාන අභියෝග ලෙස අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් බදු ජාලයට ඇතුළත් කිරීම, තාක්ෂණික පද්ධති යාවත්කාලීන කිරීම, දත්ත ඒකාබද්ධ කිරීම සහ අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය පිළිබඳවද අවධානය යොමු වී ඇත.

එමෙන්ම, RAMIS පද්ධතිය වැඩිදියුණු කිරීම, විද්‍යුත් ලියාපදිංචි කිරීම, ගොනු කිරීම සහ ගෙවීම් ක්‍රමවේද පුළුල් කිරීම මෙන්ම දත්ත පද්ධති ඒකාබද්ධ කර බදු පරිපාලන ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමටද අවධානය යොමු වී තිබේ.