කතරගම ප්‍රධාන කපුවා ඇල්ලීමට නියෝග.
රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
ඒ, රුහුණු කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවයි.
එලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබුනේ, කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතාවයි.
මෙම අතුරුදන් වීම සම්බන්ධව රුහුණු කතරගම දේවායේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුව විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබුණා.
ඒ අනුව එහි අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා යටතේ ඒකක අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී .ජේ. නිශාන්ත යටතේ විමර්ශන ආරම්භ කර තිබුණා
එහිදී අනාවරණය වී ඇත්තේ, අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරාගේ බිරිඳ වන අබේසිංහගේ නිසංසලා ප්‍රකාශ මගින් ලබාදී ඇත්තේ තම පුතාගේ අපලයන් දුරුවන්නට පුතුගේ නම කෙටූ රත්රන් තැටියක් කතරගම දේවාලයට පූජා කළ බවයි.
කෙසේ වෙතත් .දරුවාගේ වයසට සරිලන පවුම් පහක් පූජා කිරීමට ගියද දේවාලයේ කපු මහතුන්ගේ උපදෙස් මත අංගොඩ ලොක්කාගේ වයසට සරිලන්නට පවුම් තිස්අටක් බරැති රත්රන් යොදා තැටිය හැදු බවයි ඇයගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම අදාල විමර්ශන වලට අනුව සොයාගෙන ඇත්තේ, කතරගම හෝටලයක අරක්කැමියකු වූ සුජිත් ප්‍රසන්න නමැත්තාට අංගොඩ ලොක්කා ඉමෝ තාක්ෂණයෙන් කතා කර රත්රන් තැටිය සාදා දීමට කටයුතු සලසා දෙන්නැයි කී බවත් ඒ අනුව කඩුවෙලට ගිය පසු අං ගොඩ ලොක්කාගේ ගෝලයන් ගෙනවිත් දුන් රත්‍රං බිස්කට් කතරගම රන් බඩු සාදන අයෙකුගෙන් උණුකර තැටිය සකස් කර දුන් බවත්ය.