සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් දූ දරුවන්ට විශේෂ ආරංචියක්.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසු සිසුවියන් ලක්ෂ දෙකක් සහ උසස් පෙළ විභාගයෙන් අසමත් වන සිසු සිසුවියන් ලක්ෂයක ප්‍රමාණයක් ඇතුළුව සිසුන් ලක්ෂ තුනකගේ අනාගතය සාර්ථක කරවිමේ කාර්යභාරය ඉටු කිරීමට විශේෂ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරන බවට තොරතුරු වාර්තා වේ.
ඒ බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති රුචික අමරසේකර මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) සවස මහනුවර ස්විස් හෝටලයේ දී පැවැති නයිටා ආයනතයේ සිසු සිසුවියන් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබා දීමට දායකත්වය සපයන සේවා යෝජක ආයතනවලට උපහාර දැක්වීමේ උත්සවයේ දී ය.
එම අවස්ථාවේ දී ඔහු සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක් පමණ අසමත් වන බවත් උසස් පෙළ විභාගයෙන් 96,000 ක් පමණ අසමත් වන බවත් ය.
එහිදී උසස් පෙළ විභාගයෙන් වැඩ තුනම අසමත් වන දරුවන් 26,000 ක් පමණ සිටින බවත් සාමාන්‍ය පෙළ අසමත් වන දරුවන් ත්‍රී රෝද රථයකට නැඟීම වැළක්වීම සඳහා වැඩපිළිවළක් දියත් කළ යුතු බවත් ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ,
"සාමාන්‍ය පෙළ අසමත් වුණ දරුවන් නිතරම සමාජයෙන් කොන් කිරීමකට ලක් වෙනවා.සාමාන්‍ය පෙළ අසමත් වන ලක්ෂ දෙකත් උසස් පෙළ අසමත් වන ලක්ෂයත් ඇතුළුව ඒ ලක්ෂ තුන බලා ගන්න අපට පුළුවන් වෙන්න ඕනේ.
ඒ සඳහා අපට විශාල වැඩපිළිවෙක් අවශ්‍ය වෙනවා.ඒ කාර්යයයි අපි මේ කර ගෙන යන්නේ. විදෙස් රටවල සේවය කරන අපේ සහෝදර සේවක පිරිසට ඒ රටවලටම ගොස් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා NVQ 3 හෝ NVQ 4 වර්ගයේ වෘත්තිය පුහුණු සහතිකයක් ලබා දීමේ වැඩපිළිවෙත් අප ආරම්භ කර තිබෙනවා.මෙමගින් විදෙස් රටවල සේවය කරන පිරිසට ඔවුන්ගේ හැකියාවට සුදුසුකමට සහතිකයක් ලැබෙනවා.ඔවුන්ගේ රැකියාවේ උසස්වීම් ලබා ගැනිමටත් වැඩි වැටුපක් ලබා ගැනිමටත් එය උපකාරි වනු ඇත..'' යනුවෙන් ය.