ඉදිරියෙදි ඉන්ධන ගන්න වෙන්නෙ මෙහෙමයි..අංශ රැසකට පමණක් සීමා කරයි?

Sri Lanka Udaya gammanpila Oil prices
By Aruna Feb 17, 2022 01:32 AM GMT
Report

ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නේ නම් විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මේ වනවිටත් සංස්ථාවේ දෛනික අලාභය රුපියල් කෝටි තුන්සිය හැට පහකට වැඩි බව සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියා.

මෙම තත්ත්වය හමුවේ සංස්ථාවේ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් කෝටි එක්දහස් එකසියක් පමණ වන බවට අනුමාන කරන බව ඔහු පවසා සිටියා.

ඔහු පැවැසුවේ ඉන්ධන මිල ඉහළ නොදමන්නේ නම් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට සංස්ථාවට නොහැකි වන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඔහු මෙසේද පැවසුවා. ”ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට අපි දෙනවා.

දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැත්තෑ හතකට විකුණන්නේ නමුත් අපි යෝජනා කළේ රුපියල් එකසිය අනූදෙක දක්වා එය වැඩි කරන්න කියලා.

ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් එකසිය විසි එකකට.

එය රුපියල් එකසිය හැට නවයක් දක්වා ඉහළ නැංවිය යුතුයි. එහෙම නොකළොත් අපිට ආයතනයක් විදියට ඉදිරියට පවත්වාගෙන යන්නට අපහසුයි.

දැනට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව තියනවා.

ඒ නිසා ජනතාව පෝලිම්වල සිට ඉන්ධන ලබාගන්න අවශ්‍ය නැහැ. ඉන්ධන ලබාගන්න මේ දිනවල විශාල පෝලිම් තියනවා කියලා මාධ්‍ය වාර්තා කළා.

නමුත් එලෙස අවශ්‍යතාවක් නැහැ.” මේ පිළිබඳව අප බලශක්ති ඇමැති උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔහු පැවසුවේ සංස්ථාව ඉල්ලා සිටින සියලුම ඉල්ලීම් සාධාරණ බවයි. එහිදී ඇමැතිවරයා මෙසේද පවසා සිටියේය.

”සංස්ථාව ඉල්ලන දේවල් එක්ක අපිට කිසිම තර්කයක් නැහැ. මේ වෙලාවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉතිහාසගත විදියට ඉහළ ගිහින් තියෙන්නේ.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයට අපි කරුණු වාර්තා කළා.

නමුත් අමාත්‍යාංශයෙන් තවමත් පිළිතුරක් නැහැ. යම් හෙයකින් ඉන්ධන මිල වැඩි වුණොත් එය ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම ඉන්ධන මිල ඉහළ යාම වේවි.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now