ප්‍රංශය ට ගිහින් ආපසු නොපැමිණි පොලිස් නිලධාරියාට සිදුවුනු දේ ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්..!

Nihal Talduwa Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jun 19, 2023 04:45 PM GMT
Report

පොලීසිය සදහන් කළේ, ප්‍රංශයේ පැවැත්වෙන පොලිස් සංගමයේ සැසියකට සහභාගීවීම සඳහා ගිය පොලිස් නිලධාරියා ට සේවය අතහැර යෑමේ නියෝග නිකුත්කර ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ, එසේ සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කරන ලද්දේ බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් බවය.

 ඔහු විදේශ නිවාඩු ලබාගත් අදාළ දින නොපැමිණීම හේතුවෙන් මෙලෙස සේවය අතහැර යෑමේ නියෝග නිකුත්කර ඇති බවයි, අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා,

"පසුගිය දිනක මැයි මාසයේ ඔහු දවස් 16ක් නිවාඩු අරගෙන තිබුණා ප්‍රංශය පැවැත් වෙන ජාත්‍යන්තර පොලිස් සංගමයේ සැසියකට සහභාගී වෙන්න. ඒ අනුව තමයි ඔහු ඒ රටට ගිහිල්ලා තිබුණේ. ඒ ගිහිල්ල තිබුණේ ඔහුගේ පෞද්ගලික වියදමින්. ඒ වගේම විදේශ ගතවීම සඳහා අවශ්‍ය නිවාඩු ලබාගෙන. මොහු මැයි මාසය තුළ නැවත පැමිණීමට නියමිතව තිබුණා.

නමුත් ඒ නියමිත දිනයට ලංකාවට නොපැමිණීම නිසා මොහුට සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කරන්න සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කරලා තියෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ඨාසයේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරීවරයා විසින්. මොකද නියමිත දිනට නොපැමිණීම මත තමයි මේ සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කරලා තියෙන්නේ.

නමුත් ඔහුගේ ගමන සඳහා කිසිම ආකාරයක ශ්‍රී ලංකා පොලීසියේ හෝ රජයේ හෝ වියදමක් දරා නැහැ. ඔහු පෞද්ගලික වියදමෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම විදේශ නිවාඩු ඔහු විසින් අනුමත කරගෙන තියෙනවා. ඒ ආකාරයකට නිලධාරීයෙකුට විදේශගතවීමේ කිසිම බාධාවක් නැහැ. නමුත් ඔහුගේ වීසා කාලසීමාව තියෙනවාද? නැද්ද? කියන කාරණය පිළිබඳ දැනුවත් කිරීමක් නැහැ. ඔහු විදේශ නිවාඩු ලබාගත් දින නොපැමිණීම තමයි මේ තීරණය ලබාදීලා තියෙන්නේ.. සේවය අතහැර යාමේ නියෝග."