පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jun 16, 2023 04:13 PM GMT
Report

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ කළේ, පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අද (16) පැවැති මාධ්‍ය හමුවකදී එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිදුවීම් 108ක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වන බවය.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෙළෙඳ දැන්වීම්වලින් ජනතාව රවටා මූල්‍ය වංචා කිරීමේ සිද්ධි මේ වනවිට රට තුළ සුලභව අසන්නට ලැබේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට 2023 දී වාර්තා වී ඇති එවැනි සිදුවීම් සංඛ්‍යාව 108කි.අද(16)  පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළිකෙරුණි.

 පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කළේ,සයිබර් අපරාධ සම්බන්ධයෙන් ගතවු වසර දෙකහමාරක කාලය තුළ පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පමාල් ජයනෙත්සිරි මහතා පැවසුවේ වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමු සමයේ බවය.

ඒ අනුව 2021 වසරේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4,688ක් ලැබී ඇති අතර 2022 වසරේ පැමිණිලි 3,168ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

සහකාර පොලිස් අධිකාරී ජයනෙත්සිරි මහතා පැවසුවේ මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති අතර ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.