පොලිස්පති ගැන ප්‍රචාරය වන වීඩියෝව සම්බන්ධයෙන්, පොලිසියෙන් පැහැදිලි කිරීමක්..

Sri Lanka Police Sri Lanka SL Protest
By Sewvandhi Nov 26, 2022 01:08 PM GMT
Report

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරුවන වීඩියෝ පටයේ සඳහන් ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය දන්වා සිටිනවා.

අරගලයේ නීතීඥ සංවිධානයේ නීතීඥ මනෝජ් නානායක්කාර විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක වීඩියෝ පටයක් එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවයි පොලීසිය පැවසුවේ.

එම වීඩියෝ පටයේ ප්‍රකාශය වන ආකාරයට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ජීවන්ත පීරිස් පියතුමන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවත් එසේ අත්අඩංගුවට ගතහොත් ප්‍රශ්නයක් ඇති විය හැකි බැවින් මෙලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමට නොහැකි බවට පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කර ඇති බවටත් සදහන් බවද පොලීසිය පැවසුවා.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කර ඇති බවටත් එම වීඩියෝ පටයේ සදහන් බවටයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කෙසේවෙතත් එම නීතීඥවරයා සිදු කරනු ලබන එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නියෝගයක් ලබා දීමක්, කතා බහක් කිරීමක් හෝ පැමිණිලි කිරීමක් යන කරුණු කිසිවක් සිදු වී නොමැති බව පොලීසිය නිකුත් කළ එම නිවේදනයේ සදහන්.

යම් කිසි පුද්ගලයෙකු යම් වරදක් සදහා අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම පිළිබදව විමර්ශන නිලධාරීන් විසින් තීරණය කරනු ලබන්නේ ඔහු සිදු කර ඇති වරද පිළිබදව නිසි විමර්ශනයක් පවත්වා කරුණු තහවුරු වීමකින් පසුව බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now