ජනපතිට 21න් ඇති බලතල ගැන, නීතිඥ සංගමයේ විශේෂ නිවේදනයක්..!
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කර නැති අතරම විධායක ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ප්‍රමාණවත් සංවරණ හා තුලන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
පසුගිය 21 වැනි දින පාර්ලිමේන්තුව විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇති අතර, එය මේ වනවිට නම් කර ඇත්තේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මතු වූයේ වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් රට පුරා පැන නැගුණු මහජන විරෝධයේ ප්‍රතිඵලයක් ලෙසයි.
විධායක ජනාධිපති ඇතුළු විධායකයේ බලතල සම්බන්ධයෙන් සංවරණ සහ තුලන නොමැතිකම අර්බුදයට හේතුවන බව පෙනී ගොස් ඇති බවයි නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ මින් පෙර ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන්හි දී පනත් කෙටුම්පතේ අඩුපාඩු පෙන්වා දුන් බව නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එසේ වුව ද මේ වන විට 21 වැනි සංශෝධනය නීතිගත කර ඇති බැවින් ඒ යටතේ පත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ඉන් අනතුරුව ප්‍රතිසංවිධානය කෙරෙන ස්වාධීන කොමිෂන් සභා, ස්වාධීන, අපක්ෂපාතී සහ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය ඇති කිරීමට උපකාර වන ආයතන බවට පත් කිරීම අත්‍යවශ්‍ය ම සාධකයක් බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |