ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට හදිසි දැනුම්දීමක්..!

Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Jun 25, 2023 08:53 AM GMT
Report

සියලු මැති ඇමතිවරුන් වෙත හෙටින් (26) ආරම්භ වන සති අන්තයේ කොළඹින් බැහැරව නොයන ලෙස ආණ්ඩු පක්ෂයේ දැනුම්දීමක් සිදුකර තිබේ.

 ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් විදෙස් සංචාර ඇතුළු කොළඹින් බැහැර සියලු ගමන් අවලංගු කරමින් කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම් දී ඇත.

මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකවම දුරකථන මාර්ගයෙන් අදාළ දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙලෙස කොළඹින් බැහැරව නොයන ලෙස දැනුම්දී ඇති බවය.

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ලබන 28 වැනිදා පස්වරු 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විදෙස් සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණිමෙන් පසු පැවැත්වීමට ද නියමිතව තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා, ලබන සෙනසුරාදා හෝ ඉරිදා දිනයේ බොහෝදුරට පාර්ලිමේන්තුව කැඳවීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ලබන 27 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.