ලයිට් කැපිල්ල අදින් ඉවරයි - අලුත්ම නිවේදනය මෙන්න
අද (22) සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්යතාවක් මතු නොවනු ඇති බව ජාතික පද්ධති ක්රියාකරු (NSO) සමාගම පවසයි.
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන ඒකකය මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවයෙන් යළි ක්රියාත්මක කිරීමත් සමඟ දිවයින පුරා සාමාන්ය පරිදි විදුලිය සැපයීමට හැකි වනු ඇතැයි එම සමාගම සඳහන් කරයි.
අදාළ ජනන ඒකකය අද පස්වරු 1.31ට පූර්ණ ධාරිතාවයෙන් යළි ක්රියාත්මක වූ බවද එම සමාගම දැනුම් දී තිබේ.
ඒ අනුව, පසුගිය 19 වැනිදා සිට 21 වැනිදා දක්වා ක්රියාත්මක කළ විදුලි ඉල්ලුම කළමනාකරණ වැඩසටහන අද සිට අවසන් කිරීමට නියමිතය.
එම කාලසීමාව තුළ මහජනතාව ලබාදුන් සහයෝගයට ස්තුතිය පළ කරන ජාතික පද්ධති ක්රියාකරු සමාගම, විදුලි සැපයුම සීමා කිරීම හේතුවෙන් ජනතාවට සිදුවූ අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරයි.
පසුගිය 17 වැනිදා සෙනසුරාදා පෙරවරු 11.43ට තත්පර 32කදී සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය. එම තත්ත්වය හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රිය වූ අතර, විදුලි සැපයුම පවත්වාගෙන යාම සඳහා දිනකට පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට බලධාරීන්ට සිදුවිය.
ඒ අනුව, දිවයින කලාප හතරකට බෙදා පසුගිය 19, 20 සහ 21 යන දිනවල විදුලි ඉල්ලුම කළමනාකරණ වැඩසටහන යටතේ විදුලි කප්පාදුව ක්රියාත්මක කෙරිණි. නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන ඒකකය යළි පූර්ණ ධාරිතාවයෙන් ක්රියාත්මක වීමත් සමඟ එම වැඩසටහන අවසන් කිරීමට හැකි වනු ඇති බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.