රාජ්‍ය නිලධාරීන්ට නව නිවාඩු සහනයක්

Government Employee Local government Election Sinhala news NPP Government Puwath.lk
By R.rishma Jul 15, 2026 05:46 AM GMT
Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා තරග කර නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ලෙස තේරී පත්වන දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට වැටුප් සහිත දින හයක නිවාඩුවක් හෝ වැටුප් රහිත නිවාඩුවක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින් රජය නව සංශෝධනයක් සිදුකර තිබේ.

ඒ අනුව, ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයේ 2:3:4 උප වගන්තිය සංශෝධනය කරමින් නිකුත් කළ 2021 ජූනි 25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2021 තවදුරටත් සංශෝධනය කර නව විධිවිධාන ඇතුළත් කර ඇත.

2026 ජූනි 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම සංශෝධනය සිදුකර ඇති අතර, ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයට 2:3:4:1 නව උප වගන්තියක් ද එක් කර තිබේ.

එම නව විධිවිධාන අනුව, පළාත් පාලන ආයතනයක නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ලෙස තේරී පත්වන රාජ්‍ය නිලධාරියෙකුට පෙර පැවති පරිදි වැටුප් සහිත දින හයක නිවාඩුව ලබාගැනීමට හෝ තම අභිමතය පරිදි එම ධුර කාලය තුළ වැටුප් රහිත නිවාඩුවක් ලබාගැනීමට හැකියාව හිමි වේ.

මෙම සංශෝධනය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.