ලංකාවේ පිරිමීඩ ජාවාරමට එරෙහිව ලැබෙන දඬුවම්.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jun 02, 2022 11:32 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මහා ප්‍රෞඩ කළු සිංහලයෝ හිටියේ ඉස්සර. දැන් නම් ඉන්නේ, කොළයක් දෙකක් පෙන්නපු ගමන් දෙකට නැමීගෙන පස්සෙන් යන, මහන්සි නොවී කකා බිබී නිකන් ඉඳන් ධනවත් වෙන්න උත්සහ කරන සුදු සිංහලයෝ.ඔබට මතක ඇති පහුගිය දවස්වල නිදාගෙන වුණත් සල්ලි හොයන්න ගොඩක් අය උත්සහ කරපු හැටි. සමහරවිට ඔබත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්.

ඔව්.. මේ කතා කරන්නේ පහුගිය දවස්වල ලංකාව පුරාම මහා පරිමාණයෙන් සිදු කෙරුණු පිරිමිඩ ජාවාරම ගැන. හැබැයි එයාලා නම් කියන්නේ මේකට නෙට්වර්ක් මාකටිං/ඩිරෙක්ට් සේල්ස් කියලායි. ඉගෙන ගත්ත මිනිසු පවා සල්ලි තණ්හාවෙන්, වැඩිපුර ධනවත් වෙන්න හිතාගෙන මේ මෝඩ උගුලට අහුවුණා. සමහරු ගෙවල් දොරවල්, කුඹුරු, ඉඩකඩම් උකස් කරලා මේ වැඩේට සම්බන්ධ වුණේ. තවත් සමහරු කර කර හිටපු හොඳ job වලින් පවා අයින් වුණා. හැබැයි ඔය කොහොම වුණත් දැන් ඒ හැමෝම අමාරුවේ වැටිලා. අමාරුවේ දාපු අය හැංගිලා.

මොකක්ද පිරමීඩ යෝජනා ක්‍රමයක් කියන්නේ?

යම් යෝජනා ක්‍රමය යටතේ කිසියම් පුද්ගලයෙකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය සම්බන්ධව ගැනීමේ හිමිකම ලබා ගැනීම සඳහා ගෙවීමක් කර ඒ සඳහා ආදායමක් ලබා ගන්නා ක්‍රමයක් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස අර්ථ දැක්වෙනවා. අලුතෙන් බඳවා ගනු ලැබූ අය තවදුරටත් වෙනත් අය බඳවා ගැනීමේ අයිතිය ලබා ලබා ගැනීම සඳහා ගෙවීමක් කරන අතර අලුතෙන් අය බඳවා ගැනීම් වෙනුවෙන් ආදායම් ලබනවා.  🌍

මෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ එකිනෙක මට්ටමේ දේ නවක සහභාගි වන්නන් ලෙස යෝජනා ක්‍රමයට එදින සහභාගි වන්නන්ගේ සංඛ්‍යාව ගුණෝත්තර ශ්‍රේණියක ආකාරයෙන් වැඩිවීම. පිරමීඩ යෝජනා ක්‍රමයේ පහළ මට්ටමේ සිටින සහභාගි වන්නන් විශාල පිරිසකට තමන් යෝජනා ක්‍රමයට යෙදු මුදල් පහත විස්තර කර ඇති ආකාරයට නොවැළැක්විය හැකි ලෙස අහිමි වනු දැකිය හැකිය. පිරිමීඩ යෝජනාක්‍රම සැලසුම්සහගත "පාරිභෝගික වංචා" ලෙස සලකනු ලබන්නේ එම නිසයි.

පිරිමීඩ යෝජනා ක්‍රම වලට එරෙහිව බල පවත්නා නීති

1988 අංක 30 දරණ බැංකු පණතට අනුව - සහභාගිවන්නන් උපයන ප‍්‍රතිලාභ සහභාගිවන්නන් සංඛ්‍යාව වැඩිවීම මත හා යෝජනා ක‍්‍රමයට සහභාගිවන්නන් විසින් ගෙවා ඇති දායක මුදල් වැඩිවීම මත, ප‍්‍රධාන වශයෙන් තීරණය වන්නා වු යෝජනා ක‍්‍රමයක් කිසිම තැනැත්තෙකු විසින් කෙලින්ම (directly) හෝ අන් ආකාරයකින් (indirectly) ආරම්භ කිරීම (initiating), අර්පණය කිරීම (offering), ප‍්‍රවර්ධනය කිරීම (promoting), ප‍්‍රචාරය කිරීම (advertising), පැවැත්වීම (conducting), මුදල් සැපයීම(financing), කළමනාකරණය කිරීම (managing) හෝ විධාන කිරීම (directing) නොකළ යුතුයි.   

ලංකාවෙ නීතිය අනුව ලැබෙන දඬුවම්.

📌️ බරපතල වැඩ ඇතිව/නැතිව උපරිමය අවුරුදු 3ක් වන සිර දඬුවමක්.

📌️ එහෙමත් නැත්නම් උපරිමය රුපියල් මිලියනයක් වන දඩයක්.

📌️ එහෙමත් නැත්නම් ඒ දෙකම. 

ඒත් ඔබ තවත් කෙනෙක් අමාරුවේ දැම්මේ ඒ පුද්ගලයාට අලාභයක් වන බව දැන දැනම නම්,

📌️ බරපතල වැඩ ඇතිව අවමය අවුරුදු 3කුත් උපරිමය අවුරුදු 5ක් වන සිර දඬුවමක්

📌️ ඒ මදිවට රුපියල් මිලියන දෙකක් හෝ ඔබ යටතේ බඳවාගත් අය යෙදූ මුදල් මෙන් දෙගුණයක් යන දෙකෙන් වැඩි අගයට සමාන දඩයක්.

📌️ ඒ වගේම බැංකු පනතේ එන ඉහත විධි විධාන කඩ කිරීම 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හා 2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ නීති විරෝධී වැඩක් බව සඳහන් වෙනවා. (ඒ කියන්නෙ පිරමිඩ යෝජනා ක‍්‍රමයකින් උපයාගන්නා මුදල්, විශුද්ධිකරණය සඳහා හෝ ත‍්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගන්නා (බවට තීරණය කළ) වෙලාවට රජයට ඒ මුදල් පවරාගැනීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා.) 

පහුගිය කාලයේ සිදුවුණු නීති රීති සංශෝධනත් එක්ක මේ පිරමීඩ යෝජනා ක්‍රම පිරමීඩ නොවන ඒවා බව කියමින් තමයි ක්‍රියාත්මක වෙන්නෙ. Multi-level / Network marketing කියලා තමයි ඒ අය කියන්නෙ. හැබැයි ඉතින් පිරමීඩ තහනම් නිසා මේවට සම්බන්ධ නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ.

මේ පහළ තියෙන ලක්ෂණ ඔබට පිරමීඩ ජාවාරම් හඳුනාගන්න උපකාරී වෙයි.

⏳ මහන්සි නොවී ලොකු මුදලක් හම්බකරගන්න පුළුවන් කියලා කවුරුහරි කියනවානම්, අන්න ඒක පිරමීඩයක්.

⏳ අධික මිලකට ඒ ගෙවන මිලට වඩා අඩු වටිනාකමක් තියෙන භාණ්ඩයක් ගන්න කියනවා නම්, ඔබ ඒ භාණ්ඩ විකුණන්න හොයාගන්න පිරිස අනුව කොමිස් මුදලක් ගෙවනවා කියනවා නම්....පිරමීඩයක්.

⏳ ඔබට පහළින් එකතු වෙන පිරිස දෙගුණ තෙගුණ වී යන ආකාරයටම ඔබේ ආදයමත් දෙගුණ තෙගුණ වී යන බව කියනවානම්...පිරමීඩයක්.

⏳ පාරිභෝගිකයෙකුට භාණ්ඩ විකුණනවා වෙනුවට, සාමාජිකයින් බඳවාගැනීමට භාණ්ඩ අලෙවි කරනවා නම්....පිරමීඩයක්.

⏳ අදාල යෝජනා ක්‍රමයේ ඉන්න අය භාණ්ඩය විකුණලා ආදයම ලබන බවට පැහැදිලි සාක්ෂි නැත්නම්, ඒ ක්‍රමයට වැඩ කිරීමෙන් හදිසියේම තමන් ධනවතෙක් වුණා කියලා කවුරුහරි කියනවා නම්...බොහෝ විට පිරමීඩයක්.

⏳ facebook එකේ, email වලින් ප්‍රසිද්ධ පුද්ගලයෝ මෙහෙම කිව්වා අරහෙම කිව්වා කියලා ඔබව පිරමීඩ ක්‍රම වලට පොළඹවාගන්නා දේ එවන අයගෙන් පරිස්සම් වෙන්න. ඒ ප්‍රසිද්ධ පුද්ගලයෝ කතාකරන්නේ වෙන මාතෘකාවක් ගැන. මේ අය කරන්නේ ඒ කියමන් ඔවුන් කරන ව්‍යාපාරය ගැන වර්ණනා කරන ආකාරයට විකෘති කරලා ඔබව රවට්ටන එක.

⏳ ඒ වගේම ඔබව කවුරුන් හෝ ඔබව සම්මන්ත්‍රණයකට එක්කගෙන ගියොත්, එතැනදී කිසිම ගිවිසුමකට අත්සන් කරන්න එපා. මොකද ඒ වෙලාවෙදි ඔබ තීරණයක් ගැනීමට තරම් සිද්ධ වෙන දේ ගැන දැනුමක් නැතිව ඉන්නවා වෙන්න පුළුවන්. 


මේ ව්‍යාපාරය නීති විරෝධී නොවන, ලෝකයේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන එකක්. හැබැයි කවුරුහරි නෙට්වර්ක් මාකටින් කියාගෙන ඇවිත් මේ වගේ දේවල් කියනවා නම්, පරිස්සම් වෙන්න,

🌍 මහන්සි නොවී, වැඩි වෙලාවක් කැප නොකර විශාල ආදායමක් ලබාගතහැකි බව කියනවා නම්,

🌍 මුලින්ම වැඩේ පටන්ගන්න නම් ලොකු ගාණක් ගෙවලා (ඒවා විකුණුනේ නැත්නම් ආපහු ගන්න බවට කිසිම ලිඛිත වගකීමක් නැතිව) භාණ්ඩ මිලදීගන්න කියනවා නම්,

🌍 ආරම්භක මුදල් අත්පිට මුදලින් (Cash) හෝ මනි ඕඩර් එකකින් ගෙවන්න කියනවා නම්,

🌍 කිසිදු මහන්සියකින තොරව මිලියන ගණන් මුදල් උපයන්න පුළුවන් බව කියනවා නම්,

🌍 පැහැදිලි සාක්ෂි නැතිව සමාගම එක්ක වැඩ කරලා ජීවිතය ජයගත් අය පිළිබඳව තොරතෝංචියක් නැතිව විස්තර කරනවා නම්,

🌍 මූලික ගෙවීම ඉතා ඉහළ අගයක් ගැනීම සහ අලෙවිකරුවෙක් වීමට අයිතිය ගැනීමට තවත් සැඟවුණු ගෙවීම් කරන්නට තිබීම,

🌍 ආදයම් උපයන්නේ භාණ්ඩ විකිණීමේ අයිතිය තවත් කෙනෙකුට විකුණලා මිසක් භාණ්ඩයක් විකිණීමෙන් නොවීම,

🌍 ඔවුන් සතියෙන් දෙකෙන් ධනවත් වූ බව හඟවන්න posh විදිහට ඇඳ පැළදගෙන..හිතුමනාපෙට වියදම් කරමින්, දවසින් දෙකෙන් ලොකු වාහන මිලදී ගන්නවා නම්, මේවාට අසු නොවන්න.  


මෙහිදී බොහෝදුරට ඔවුන් කරන්නේ මවා පෑමක් පමණයි. ඇතැම් විට අධික මිල ගණන් යටතේ වාහන මිලදී ගත් බව පවසමින් වාහනයකින් ඇවිත් බහිනවා නම්, ඇතැම් විට ඒවා රෙන්ට් එකට එහෙමත් නැත්නම් කුළියට ගත් ඒවා විය හැකියි. ඔබත් මෙවැනි මුළාවන්ට හසු නොවන්න. අවසානේ ඔබට වංචාකාරයෙක් ලෙස ලෝකයට මුහුණ දෙන්න සිදු වන අතර ඔබ සතු වටිනා කියන සියලුම දේ අහිමි කරගෙන පාරට වැටෙන්න සිදු වේවි. 



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW