පොලිස් ගිනි අවිය උදුරාගන්න ගිය පුද්ගලයා වෙඩි වැදී ජීවිතක්ෂයට

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 18, 2022 02:51 PM GMT
Report

නෙළුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ මොරවක ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් වන අතර ඔහුගේ සිරුර මේවන විට මැදගම රෝහලේ තැන්පත් කර තිබෙනවා. නෙළුව ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වැටලීමක් අතර මෙය සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළා.

අද (18) සවස නෙළුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ නගරයේ පාලු නිවසක පුද්ගලයන් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවෙමින් මත්ද්‍රව්‍ය භාවිත කරන බවටයි. ඒ අනුව පොලිසිය එම ස්ථානය වැටලීමට කටයුතු කර ඇති අතර එහි සිටි අයෙකු පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කර ඇතැයි සඳහන්.

මෙම අවස්ථාවේදී එය ක්‍රියාත්මක වීමෙන් අදාළ සැකකරුට වෙඩි වැදී ඇති බවයි පොලිසිය කියාසිටියේ. මෙම ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි සැකකරුවන් තුන්දෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නෙළුව පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇතැයි සඳහන්.

එමෙන්ම වෙඩි වැදීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් හා නියෝග අනුව ගාල්ල කොට්ඨාශයේ පොලිස් අධිකාරිවරයෙකු පත්කර තිබෙනවා. ඔහු විසින් ඊට අදාළ විමර්ශණ ආරම්භ කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now