මීගමුව බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියා පල්ලෙකැලේට තාවකාලික මාරුවක්

Negombo Prison Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 14, 2026 03:57 PM GMT
Report

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකළ බන්ධනාගාර නිලධාරියාව තාවකාලිකව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි.

පසුගිය ජූලි 6 වැනිදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියේදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ අවසන් ලී දොරටුව ද කඩා පිටතට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ බන්ධනාගාර නිලධාරියා විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර නිලධාරීන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීම සහ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා ගිනි අවිය භාවිත කර ඇති බවත්ය.

කෙසේ වෙතත්, එම වෙඩි තැබීම බන්ධනාගාර නීතිරීතිවලට අනුකූලව සිදුකර තිබේද සහ බලය ඉක්මවා යෑමක් සිදුව තිබේද යන්න සොයා බැලීම සඳහා මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.