මීගමුව බන්ධනාගාර සිද්ධිය - සැකකරුවන් 38ගේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව අගෝස්තු 21ට කල් යයි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තවත් රැඳවියන් 24 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) අවසර ලබා දුන්නේය.
ඒ අනුව, මීට පෙර නම් කළ සැකකරුවන් 38 දෙනා සමඟ මෙම සිද්ධියට අදාළ මුළු සැකකරුවන් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබේ. ආරක්ෂක හේතූන් මත සැකකරුවන්ගේ නම් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් නොකළ අතර, අදාළ නාම ලේඛනය සහ B වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෘජුවම මහෙස්ත්‍රාත්වරිය වෙත භාර දී තිබුණි.
තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් සැකකරුවන් 38 දෙනා සඳහා පැවැත්වීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව අගෝස්තු 21 දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය. එමෙන්ම අත්අඩංගුවේ පසුවන සියලු සැකකරුවන් අගෝස්තු 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අධිකරණය, එදින සැකකරුවන් 62 දෙනාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරියට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා, ගිනි අවි ආඥා පනත, පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.