සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ගත් නවතම තීරණය..! ආපනශාලා වලටත් මත්පැන්..?

By Sewvandhi Feb 26, 2022 05:12 AM GMT
Report

බීර හා වයින් විකිණීමට අවසර නොතිබූ තැන් කිහිපයකට ඒ සඳහා නීත්‍යානුකූල අවසරය ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සංචාරකයන් සඳහා ආහාර පාන සහ නවාතැන් සැපයීම පිණිස ව්‍යාපාර ලියාපදිංචිය ලබාගෙන ඇති ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස සඳහා බීර හා වයින් විකිණීමට බලපත්‍ර ලබාදීමට බලාපොරොත්තු වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නව ක්‍රමවේදය මගින් දැනටමත් බලපත්‍ර රහිතව සංචාරකයන් සඳහා මත්පැන් විකිණීම සිදුකරන ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස නීතිමය රාමුවට ඇතුළත් කරගැනීම මගින් එම ස්ථාන හිමියන් මෙන්ම සංචාරකයන් ද මුහුණ දෙන අනපේක්ෂිත පීඩාවන් අවම වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමගින් එම ස්ථාන නීත්‍යානුකූල මත්පැන් සැපයුම් දාමයට ඇතුළත් කරගැනීම මගින් නීත්‍යානුකුල හා ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් ඒවායේ අලෙවි කරනු ලබන බවට සනාථ කරගැනීමටත් හැකියාව පවතින බව සඳහන් වේ.

තවද බලපත්‍ර රහිත ආයතන හේතුවෙන් බලපත්‍ර සහිතව සංචාරකයන්හට මත්පැන් විකිණීම සිදුකරන ආයතන අධෛර්යයට පත්වීමත්, අසාධාරණ මිල ගණන් යටතේ සංචාරකයන්හට මත්පැන් විකිණීම සිදුකිරීම අවම කරගැනීමටත් මේ මගින් හැකියාව පවතී.

සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සහයෝගීතාවයත්, මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අනුමැතියත් ඇතිව මෙම බීර හා වයින් විකිණීම සඳහා නව සුරාබදු බලපත්‍ර ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now