‘නවෝදයාගම’ නිවාස අද ජනතා අයිතියට

Government Of Sri Lanka Landslide In Sri Lanka Latest Headlines Sinhala news Landslide
By R.rishma Aug 28, 2026 05:39 AM GMT
Report

මීට වසර තුනකට පෙර පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑමට ලක්ව නිවාස අහිමි වූ පූනාගල, කබරගල ප්‍රදේශයේ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ ‘නවෝදයාගම’ නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

නායයෑමෙන් නිවාස අහිමි වූ මෙම පවුල් වසර තුනකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ තේ කර්මාන්ත ශාලාවක අනාරක්ෂිතව ජීවත් වූ බව සඳහන් වේ.

එම ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතිය කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. 

ව්‍යාපෘතිය යටතේ සෑම පවුලක් සඳහාම පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබැල්ලක් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවසක් ලබාදීමට කටයුතු කර ඇත.

නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත සෑම නිවසක් සඳහාම රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් වැය කර තිබේ.

නායයෑමෙන් අවතැන් වූ පවුල් සඳහා ආරක්ෂිත සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබේ.

නිවසක් සහ ඉඩමක් ලබාදීමෙන් පමණක් සීමා නොවී, නව නිවසක දෛනික ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය ගෘහ හා මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුතුව සෑම පවුලකටම ලබාදීමටද කටයුතු කර තිබීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.