ජාතික ජන වේගයෙන් විශේෂ ප්‍රකාශයක්..!

Vijitha Herath Sri Lanka Election
By Sewvandhi Mar 19, 2023 12:34 PM GMT
Report

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා සදහන් කලේ, කාගේ හෝ අවශ්‍යතාවයකට නීති ව්‍යවස්ථා වෙනස් කළ නොහැකි බවත්, අධිකරණයට අපහාස කිරීම බරපතල වරදක් බවත්, ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බවත් ය. ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා,

"අද 2023 මාර්තු 19 වෙනිදා. අද මධ්‍යම රාත්‍රී 12.00න් පස්සෙ සියලුම මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ධුර කාලය අවසන් වෙනවා. අද මධ්‍යම රාත්‍රී 12.00න් පස්සේ මේ ආයතනවල නගරාධිපතිවරුන්ට, සභාපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තවදුරටත් මහජන නියෝජිතයන් හැටියට කටයුතු කරන්න බැහැ. ව්‍යවස්ථානුකූලව නිල කාලය අවසන් වෙනවා. ඒ නිසාම මැතිවරණය පැවැත්විය යුතුව තිබුණා මාර්තු මාසයේ 19ට පෙර. නමුත් ආණ්ඩුව දිගින් දිගටම හිතාමතාම මේ මැතිවරණය කල් දැමුවා. මේ මැතිවරණය පවත්වීමට නියමිතව තිබුණේ ගිය වසරේ පෙබරවාරි අග හෝ මාර්තු මුල.

ඇමතිවරයාගේ බලය පාවිච්චි කරලා වසරකින් කල්දැමුවා. මේ වසරේ මාර්තු 09 වැනිදා ඡන්දය පවත්වන්න මැතිවරණ කොමිසම දින නියම කළා. නමුත් අපි කවුරුත් දන්නවා ආණ්ඩුව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබා දුන්නේ නැහැ. ඒ නිසාම මැතිවරණය අප්‍රේල් 25 දක්වා කල්දමන්න මැතිවරණ කොමිසමට සිදුවුණා. අද වන විට ඒ දිනයට මැතිවරණය පවත්වන්නත් බැරි තත්ත්වයක් උදාකර තිබෙනවා. තවමත් මුදල් අමාත්‍යාංශයෙන් මුද්‍රණාලයාධිපතිනියට, ඒ වගේම මැතිවරණ කොමිසමට අදාල මුදල් ලබාදී නැහැ. පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ තීන්දුවක් ලබාදුන්නා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මුදල් ඇමතිවරයා විදිහටත් රනිල් වික්‍රමසිංහටත් මුද්‍රණාලයාධිපතිනියටත් මැතිවරණය පැවැත්වීමට බාධා පමුණුවන්න එපා අවශ්‍ය කරන මුදල් ලබාදීමට සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට. ඒ නිසා දැන් කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් නැහැ පාර්ලිමේන්තුවෙන් වෙන් කරන ලද මුදල් ලබානොදී ඉන්න. දැන් අලුත් ප්‍රශ්නයක් මතුකර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දොළවත්ත මන්ත්‍රීවරයා සහ සේමසිංහ මන්ත්‍රීවරයා, අධිකරණ තීන්දුව විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථ දක්වන්න උත්සාහ කළා.

මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් නොවෙයි. පැහැදිලිවම අධිකරණ තීන්දුව විධායකයට නියෝගයක් ලබාදීම සිදුකර තිබෙනවා. මීට පෙරාතුවත් විවිධ අවස්ථාවල දී අධිකරණ තීන්දු කැබිනට් මණ්ඩලයට විරුද්ධව අරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වූ එකක් කැබිනට් එකට වෙනස් කරන්න බැහැ. එසේ වෙනස් කරනවා නම් නැවත පාර්ලිමේන්තුවේ අනුමත විය යුතුයි. කැබිනට් මණ්ඩලය බැඳී ඉන්නවා පාර්ලිමේන්තුවේ සම්මත වූ මුදල් කොමිසමට ලබාදෙන්න. ඒක තනි පුද්ගලයෙකුට ඔළුවෙ අමාරුවක් නිසා වෙනස් කළ නොහැකියි. ඒ නිසා මැතිවරණයට අවශ්‍ය මුදල ලබාදිය යුතුයි. දොලවත්ත සහ සේමසිංහ මන්ත්‍රීවරුන් මතු කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙසට. අධිකරණ නියෝගයෙන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බලය තවදුරටත් ශක්තිමත් කිරීමක්."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now