“සමීක්ෂණ කරමින් සිටිනවා වෙනුවට පළාත් සභා ඡන්දය පවත්වා ජනමතය බලන්න” - නාමල් රාජපක්ෂ

Namal Rajapaksa Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 29, 2026 05:31 AM GMT
Report

ආයතනවලට මුදල් වැය කර සමීක්ෂණ සිදුකරනවා වෙනුවට පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවගේ මතය සෘජුවම විමසිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩුවට ජනතාවගේ සහයෝගය පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවයි.

“ආයතනවලට මුදල් දීලා සමීක්ෂණ වාර්තා ලබාගන්නවා වෙනුවට පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපතිවරයාට ජනතාවගේ කැමැත්ත සහ අකමැත්ත පිළිබඳව සෘජුවම දැනගත හැකියි” යනුවෙන් ඔහු පැවසීය.

එමෙන්ම ඇතැම් සමීක්ෂණ වාර්තාවල ජනතාවගෙන් විශාල පිරිසක් ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන බව සඳහන් වන බවත්, ආණ්ඩුව ජනතාවගේ ගැටලු විසඳීමට අවධානය යොමු කළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව තම පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පක්ෂය සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට සහ ව්‍යවස්ථාමය මූලධර්මවලට අදාළ කරුණු සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, විවිධ වෘත්තීය සංවිධාන සහ ජනතාවගේ මතයට එරෙහිව තනි කැමැත්තෙන් ව්‍යවස්ථා සංශෝධන සිදුකර බලය තහවුරු කරගත හැකි බව ආණ්ඩුව සිතන්නේ නම් එය වැරදි අදහසක් බව පැවසීය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අභියෝග පැමිණිය හැකි නමුත්, එවැනි තත්ත්වයන් හමුවේ ජනතාවගේ සහ ආගමික උත්සවවල ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බවද ඔහු සඳහන් කළේය.

මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සිදුකරන සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, එවැනි සාකච්ඡා සිදුකරන්නේ නම් ඒවා විවෘතව සිදුකරන බවයි. පුද්ගල අවශ්‍යතා මත නොව, රටේ සහ ජනතාවගේ අවශ්‍යතා මත දේශපාලන සන්ධාන ගොඩනගන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.