මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම ගැන ඇමති නලින්ද කට අරී
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්වයන්ට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී යෝජනාවක් ඉදිරිපත් වී ඇතත්, ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ඇතැම් පාර්ශ්වයන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ කෙසේද, කුමන පාර්ශ්වයන්ට එය අදාළ කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට හෝ එකඟතාවකට පැමිණ නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රට තුළ පවතින බරපතළ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඉදිරිපත් වූ අදහසක් ලෙස මෙම යෝජනාව සැලකිය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.