මහානාහිමිවරුන්ගේ ලිපිය ජනපතිට ලැබී තිබෙනවා - නලින්ද

Latest Headlines Nalinda Jayatissa Sinhala news Asgiriya Chapter Cabinet Decisions
By R.rishma Aug 11, 2026 11:14 AM GMT
Report

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව පෙන්වා දෙමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාළ ලිපියේ සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර තමන් සහ අධිකරණ අමාත්‍යවරයා මහානාහිමිවරුන් හමුවී කරුණු පැහැදිලි කළ බවද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහානාහිමිවරුන් හමුවී යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, පසුගිය 04 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබුණේ, ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් තමන් එම අවස්ථාවේදී දැනුවත්ව නොසිටි බවයි.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ, ඊට පෙර දිනය වූ අගෝස්තු 03 වැනිදා තමන් සහ අධිකරණ අමාත්‍යවරයා මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායන්හි මහානාහිමිවරුන් හමුවී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බවයි.