අවුරුදු දෙසීයකට පසුව මුවන් කන්දේ මිනිසුන්ට ලැබුණු තැපැල් ලිපින

Kurunegala Sri Lanka Magistrate Court
By Gagana Dec 04, 2023 04:13 PM GMT
Report

කුරුණෑගල, මාවතගම " මුවන් කන්ද" වතුයායේ වාසය කරන පදිංචිකරුවෙකු ගොනු කර තිබූ පෙත්සමක් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එම පවුල් සඳහා තැපැල් ලිපින ලබා දීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වාදී තිබුණේ වසර දෙසීයකට වඩා පදිංචිව සිටිමින් මෙරට ආර්ථිකයට විශාල කාර්යභාරයක් ඉටු කළ වතුකම්කරුවන්ට මේ දක්වා තැපැල් ලිපින ලබා දී නොමැති බවත් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන්ට තැපැල් ලිපින ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි සිටර් ජනරාල් කණිෂ්කාද සිල්වා කියා සිටියේ පෙත්සම්කරු පදිංචිව සිටින වතු යායේ පදිංචිකරුවන්ට තැපැල් ලිපින ලබා දීමට කටයුතු කර ඇති බවත් කෙසේ වෙතත් දිවයින පුරා වාසය කරන සමස්ත වතු ප්‍රජාවට තැපැල් ලිපින ලබාදීමේ කාර්යය දීර්ඝ කාලයක් ගත විය හැකි වැඩ පිළිවෙළක් බවත්ය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමේ අරමුණ වූයේ දිවයින පුරා වාසය කරන සමස්ත වතු ප්‍රජාවට තැපැල් ලිපින ලබා දීම බව සඳහන් කර සිටියා.

මෙහිදී අගවිනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ වසර දෙසීයක ඉතිහාසය තුළ පළමු වතාවට පෙත්සම්කරුවන්ට තැපැල් ලිපින ලබා දීම සම්බන්ධයෙන් සතුටු විය යුතු බවත් පෙත්සම්කාර පාර්ශ්වයට පෙන්වා දුන්නේ පෙත්සම්කරු ඉල්ලා සිටි සහනය මේ වන විටත් ඉටු වී ඇති නිසා මෙම පෙත්සමේ විභාගය අත් හිටුවන වන බවයි.

කෙසේ වෙනත් වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ කටයුතු වල ප්‍රගතිය විමසා බැලීමට අවශ්‍ය නම් මාස 6 කින් හෝ මාස 09 කින් පසු මෙම පෙත්සම විවෘත අධිකරණයේ කැඳවා එම කටයුතු වල ප්‍රගතිය විමසා බැලීමට පෙත්සම්කාර පාර්ශවය හැකියාව තිබෙන බවත් අග විනිසුරුවරයා සඳහන් කර සිටියා.