මුල්ලේරියාවේ මිය ගිය දරුවා ගැන ඇහෙන නවතම කතාව
මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී මියගිය දරුවාගේ සීයාව ඇප මත මුදාහැරීමට අලුත්කඩේ අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරුට ලක්ෂ 3 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී දරුවා සීයාගේ භාරයේ සිට ඇති අතර ඊයේ (10) රාත්‍රියේ මුල්ලේරියාව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැණුනේ දරුවාට රැකවරණය ලබා නොදීමේ චෝදනාව මතයි.
අත්අඩංගුවට ගත් 65 හැවිරිදි එම පුද්ගලයා අද (11) අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී තිබුණා.
මාලබේ හල්බරාවේ පදිංචි අවුරුදු 5 යි මාස 6 ක් වයසැති ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති දරුවා මුල්ලේරියාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටියදී පසුගිය 08 වනදා රාත්‍රියේ මුල්ලේරියාව පොලීසිය විසින් සොයාගනු ලැබු අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම වැඩබිමේ තණකොළ කපන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
තණකොළ කපන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී එය දරුවාගේ ඇඟේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෙම දරුවා මියගොස් ඇති බව අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
මේ අතර මියගිය පුංචි ජොනතන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේත් දේහය තැන්පත් කර තිබෙන පෞද්ගලික මල් ශාලාවට ඔහුගේ ඥාතින් ඇතුළු පිරිස පැමිණි අතර දේහය පිළිබඳ අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භුමියේදී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.