මන්ත්‍රී වැටුප් වැඩි කළේ නැහැ - නලින්ද ජයතිස්ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කිසිදු ආකාරයකින් වැඩි කිරීමට රජය කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය පදනම් කරගනිමින් ලබාදෙන ඉන්ධන දීමනාවේ වටිනාකම ඉහළ යාම, ඇතැම් පාර්ශ්වයන් විසින් මන්ත්‍රී වැටුප් වැඩිවීමක් ලෙස පෙන්වා දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන්ගේ වැටුප් රුපියල් 50,000කින්, 60,000කින් හෝ රුපියල් ලක්ෂයකින් වුවද වැඩි කර නොමැති බව ඔහු අවධාරණය කළේය.
අමාත්‍යවරයා පැහැදිලි කළේ, මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අනුව එහි වටිනාකම දීමනාවක් ලෙස ගණනය කරන බවයි.
එම ගණනය කිරීමේදී ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවලදී දීමනාවේ මුදල් වටිනාකමද ඉහළ යන අතර, එය වැටුප් වැඩි කිරීමක් නොවන බවද ඔහු සඳහන් කළේය.
2026 මාර්තු 1 වැනිදා පැවති ඉන්ධන මිල පදනම් කරගනිමින් මාර්තු සිට ජුනි දක්වා කාලය සඳහා ඉන්ධන දීමනා ගණනය කළ බවත්, එම ක්‍රමවේදය ජූලි 1 වැනිදා අවසන් කළ බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව ජූලි 1 වැනිදා සිට ඉන්ධන දීමනා ගණනය කරනු ලබන්නේ එදින වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල පදනම් කරගෙන බවද ඔහු සඳහන් කළේය.
ඉන්ධන මිල අඩු වුවහොත් දීමනාවේ මුදලද අඩු වන අතර, මිල ඉහළ ගියහොත් එහි වටිනාකමද ඉහළ යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.