ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් ගත් විශේෂ තීරණය..

United States of America
By Sewvandhi Oct 26, 2023 12:55 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

අමෙරිකාවේ බිග් ත්‍රී මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල සේවකයන් ඒකාබද්ධව දැවැන්ත වර්ජනයක් මීට සති 6කට පමණ පෙර ආරම්භ කළ අතර මේ වනවිට එම වැඩ වර්ජනය අවසන් කිරීමට මෝටර් රථ සමාගම් තීරණය කර තිබේ.

එනම් 25%ක වැටුප් වැඩිවීමකට නිෂ්පාදන සමාගම් එකඟවීමත් සමගය ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එම යෝජනාවට වෘත්තීය සමිති නායකයන්ගේ අනුමැතිය හිමිවිය යුතු බවයි. බිග් ත්‍රී ලෙස හඳුන්වන්නේ ජෙනරල් මෝටර්ස්, ෆෝඩ් සහ ක්‍රයිස්ලර් නම්  අමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනය.

 1910 වසරේ ලොව විශාල මෝටර් රථ නිෂ්පාදනාගාරයක් මුලින්ම ස්ථාපිත කළේ ජෙනරල් මෝටර්ස් සමාගමයි. ෆෝඩ් සහ ක්‍රයිස්ලර් සමාගම් ආරම්භ කෙරුණත් 2 වැනි ලෝක යුද්ධයට පෙර සමයේදීය.

පසුගිය සති කිහිපයේ ක්‍රියාත්මක වූ වැඩවර්ජනය වාර්තා අතරට එක් වූයේ, අමෙරිකා එක්සත් ජනපද කර්මාන්ත ක්ෂේත්‍රයේ දශක ගණනාවකින් සිදුකෙරෙන දැවැන්තම වෘත්තිය ක්‍රියාමාර්ගය ලෙසටය.

සිය සාමාජිකයන්ට වසර 4ක් තුළ 40%ක වැටුප් වැඩිවීමක් ලබාගැනීම වර්ජකයන්ගේ ප්‍රධාන ඉල්ලීම විය. ඊට අමතරව දින 4ක වැඩ සතියක් , උද්ධමනය හා බැඳුනු ස්වයංක්‍රීය වැටුප් වැඩිවීමක් සහ සේවකයන් තාවකාලික පදනමින් යොදවාගැනීමේ කාලය සීමාකිරීම ඔවුන්ගේ අනෙක් ඉල්ලීම් අතර විය.