මෙරට රිලවුන් චීනයට යවනවාද.. තීරණය ලබා දෙයි..

By Sithumi Jun 26, 2023 11:55 AM GMT
Report

මෙරට රිලව් චීනයට අපනයනය කිරීමක් නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා මෙම දැනුම්දීම සිදුකළා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.

මෙහිදී විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දන්වා සිටියේ මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙසයි. ඊට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එකඟතාවය පළ කළ අතර අනතුරුව පෙත්සම යළි ජූලි මස 06 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි, ඔටාරා ගුණවර්ධන, රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.