ඇප් එකක් හරහා බැංකු ගිණුම් වලින් කෝටි ගණන් වංචා කළ පුද්ගලයින්..

Sri Lanka Police Sri Lanka Crime Branch Criminal Investigation Department
By Sewvandhi Dec 24, 2022 08:08 AM GMT
Report

විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත වංචනික ලෙස ලබාගෙන ජංගම දුරකථන ඇප් එකක් ඔස්සේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයන් තිදෙනෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් තිදෙනා  වංචාකර ලබාගත් මුදල්වලින් ඇතැම් දිනවලදී රුපියල් ලක්ෂයක පමණ මත්ද්‍රව්‍ය භාවිතකර ඇති බවටද අනාවරණ වී ඇති බව පොලීසිය පවසන අතර පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට පසුගියදා පැමිණිලි 12ක් ලැබී තිබුණේ ජංගම දුරකථන යෙදවුමක් හරහා බැංකු ගිණුම්වලින් මුදල් වංචාකර ඇති බවටයි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ නිලධාරීන්ට අනාවරණ වී තිබුණේ අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංක සහ නම් අදාළ භාණ්ඩ මිලදී ගන්නා බව පවසමින් ලබාගෙන, සැකකරුවන් විසින් මෙරට ප්‍රසිද්ධ ජංගම දුරකථන යෙදවුමක පළමුව ලියාපදිංචි වන බවය.

අනතුරුව අදාළ යෙදවුමේ ලියාපදිංචිවන විට ලැබෙන OTP අංකය භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ගෙන් ලබාගෙන සැබෑ හිමිකරුවන්ගේ බැංකු ගිණුම්වලින් ඊට අදාළ මුදල් ප්‍රමාණය ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත.

ජාවාරම්කරුවන් විසින් රුපියල් කෝටියකට අධික මුදලක් විවිධ පුද්ගලයන්ගෙන් එලෙස වංචා කර ඇති බව වාර්තා වෙයි. පසුව විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයෙන් අනතුරුව අනාවරණ කරගෙන ඇත්තේ ගෙලිඔය ප්‍රදේශයේ සැකකරුවන් තිදෙනෙකු විසින් එලෙස වංචනිකව එක්රැස්කරගත් මුදල් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති ඒ.ටී.එම් යන්ත්‍ර හරහා මුදල් ලබාගෙන ඇති බවය.

ඒ අනුව CCTV දර්ශන ඔස්සේ විමර්ශන සිදුකළ නිලධාරීන් අදාළ සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා එලෙස මුදල් ලබාගෙන ඇති අතර එම මුදල්වලින් ඇතැම් දිනවලදී රුපියල් ලක්ෂයක පමණ මත්ද්‍රව්‍ය භාවිතකර ඇති බවය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අන්තර් ජාලයෙන් ගනුදෙනු සිදුකරන අවස්ථාවලදී කිසිඳු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශ්වයන් වෙත ලබානොදෙන ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now