මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට

Ministry of Health Sri Lanka Kidney Disease Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 09, 2026 10:18 AM GMT
Report

මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විඳින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර පහසුකම් සැලසීමේ අරමුණින් සහ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා පවතින දිගු පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

දිවයින පුරා රෝගීන්ට සේවා සැලසිය හැකි පරිදි ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වැනිදා පෙරවරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

වකුගඩු ආශ්‍රිතව ඇතිවන ගල් රෝගය (Kidney Stone Disease) ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් වන අතර, මේ වනවිට දිවයින පුරා විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍ය ඒකක 30කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුවද, ප්‍රතිකාර සඳහා පවතින ඉල්ලුම ඉහළ මට්ටමක පවතී.

යටිතල පහසුකම්වල සීමාවන්, ශල්‍යාගාර පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය හේතුවෙන් වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රෝගීන් 5,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම තත්ත්වයට විසඳුමක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග (NCD) කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් වූ යෝජනා සලකා බැලීමෙන් අනතුරුව, වකුගඩු ගල් රෝගීන් සඳහා විශේෂිත මධ්‍යගත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමේ සංකල්පය ක්‍රියාත්මක කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLAUS) තාක්ෂණික සහයෝගය ලබාගෙන ඇති අතර, නවීන ප්‍රතිකාර ක්‍රමවේද සමඟින් රෝගීන්ට කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වී තිබේ.